පුවත්

බඩ් වාහනයක් සොයා CIDය සුජීවගේ නිවසට

Published

on

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) පස්වරුවේ සුජීව සේනසිංහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස පරීක්ෂා කර තිබේ.

සුජීව මහතා කොළඹ පිහිටි ඔහුගේ නිවසට ඊයේ (11) පැමිණීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණ නියෝගයද රැගෙන එම නිවස පරීක්ෂා කිරීමට පැමිණි ඇත.

නමුත්  ඊයේ (11) පස්වරුව වන තෙක් සේනසිංහ මහතාගේ නිවස පරීක්ෂා කිරීමට නිලධාරීන්ට නොහැකිවූයේ කිසිවෙකු එහි දොරටුව විවෘත නොකිරීම නිසයි.

මේ අතර නීතිවිරෝධීව කොටස් එකතු කර සකස් කළ බවට සැක කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් සුඛෝපභෝගී V8 වර්ගයේ රථය, වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  නියෝග කළා ය.

ඒ, අදාළ වාහනය, සුජීව සේනසිංහ මහතා භාරයේ තබා ගැනීමෙන් එය අස්ථාන ගතවීමේ හෝ අනතුරකට ලක්වීමේ හැකියාවක් ඇති බවට විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීමක් සළකා බලමින්.

සුජීව සේනසිංහ මහතාට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ නීතීවිරෝධී කොටස් එකලස් කර සකසන ලද වාහනයක් ඇති බවට ලද තොරතුරු අනුව වලාන විශේෂ දූෂණ විමර්ශන කොට්ඨාසය ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා තිබිණි.

අනතුරුව, එහි වැඩිදුර විමර්ශන සිදුකළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.

මීට පෙර, විමර්ශන නිලධාරීන් ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේ ය.

ඒ අනුව එම වාහනය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට ද, එදින නියෝග කර තිබුණි.

Trending

Exit mobile version