පුවත්

බයිඩ්න් – ෂී හමුවේ ; දෙරට හමුදා අතර සන්නිවේදනත් ඇරඹේ (Update)

Published

on

ඇමෙරිකානු ජනපති – ජෝ බයිඩ්න් මහතා හා චීන ජනාධිපති – ෂී ජින්පිං මහතා ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී හමුවී තිබේ.

ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කරන පරිදි ඔවුන් දෙදෙනා හමුවී ඇත්තේ කැලිෆෝනියාවේ පිහිටි ෆිලෝලි ඓතිහාසික මන්දිරයේදීය.

මෙය, පසුගිය වසරේදී බාලි වල සිදුවූ සාකච්ඡාවෙන් පසුව, දෙරට නායකයන් හමුවී සිදුකරන පළමු සාකච්ඡාව ලෙස සැලකේ.

චීන විදේශ අමාත්‍යාංශයට අනුව, මෙම හමුවේදී චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව වන චීන – ඇමෙරිකානු සබඳතා, පුළුල් ලෙස දැකිය යුත් බවත්, දෙපාර්ශවය විසින් එකිනෙකාගෙන් ඉවතට හැරීම විකල්පයක් නොවන බවයි. 

එක් පාර්ශවයක් අනෙක් පාර්ශවය වෙනස් කිරීමට කටයුතු කිරීමද යථාර්ථවාදී නොවන බවත්, ගැටුම්කාරී වීම දෙපාර්ශවයටම දැරිය නොහැකි ප්‍රතිවිපාක ඇති කරවන බවත්, චීන ජනපතිවරයා මෙහිදී පැහැදිලි කර ඇත. රටවල් අතර තරගකාරීත්වයෙන් දෙරට අතර හෝ ලෝකය මුහුණදෙන ගැටළු විසඳිය නොහැකි බවත්, චීනය හා ඇමෙරිකාව යන රටවල් ද්විත්වයටම ඉඩ සැලසීමට පෘථිවියේ විශාලත්වය ප්‍රමාණවත් බවද ඔහු පවසා ඇත. 

චීන ජනපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එක් රටක සාර්ථකත්වය, අනෙක් රටට අවස්ථාවක් වනු ඇති බවයි.

ඇමෙරිකාව අභිබවා යාමට හෝ පරාජය කිරීමට චීනයට සැලැස්මක් නැත. එසේම, චීනය මැඩපැවැත්වීමට සහ පාලනය කිරීමට ඇමෙරිකාවද සැලසුම් නොකළ යුතු බවද චීන ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත. 

චීන විදේශ කටයුතු අමාත්‍යංශය විසින්න නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සැන් ෆ්රැන්සිස්කෝ හිදී චීනය සහ ඇමෙරිකාව විසින් දෙරට අතර සබඳතා වර්ධනය කිරීමට කුළුණු පහක් මත ගොඩනැගුනු නව දැක්මක් අනුගමනය කළ යුතු බවයි. එම කුළුණු පහ ලෙස නම් කර ඇත්තේ : නිවැරදි අවබෝධයක් වර්ධනය කිරීම, දෙපාර්ශවය එකඟ නොවන කරුණු ඵලදායී ලෙස කළමනාකරණය කිරීම, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ඒකාබද්ධව ඉදිරියට ගෙන යාම, ප්‍රධාන රටවල් ලෙස ඒකාබද්ධව වගකීම් දැරීම හා දෙරටේ මිනිසුන් අතර හුවමාරුවන් ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමයි.

මේ අතර, මෙම හමුවෙන් පසුව අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර පවතින හේද සමනය කිරීමේ උත්සාහයක් ලෙස ඇමෙරිකාව සහ චීනය විසින් සිය හමුදා අතර සන්නිවේදනය යළි ආරම්භ කිරීමට එකඟ වී ඇති බවයි.

“සෘජු, විවෘත, පැහැදිලි සන්නිවේදනයකට අපි යළිත් පැමිණිලා,” යැයි බයිඩ්න් මහතා පවසා ඇත.

සමුළුවෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් බයිඩ්න් මහතා වැඩිදුරටත් පැවසුවේ සන්නිවේදනයක් නොතිබීම, අනතුරු සිදුවීමට හේතුව බවත් මේ වන විට දෙරට ජනපතිවරුන් හට දුරකථනය ඔසවා වහා එකිනෙකාට ඍජුව සවන් දීමට දැන් හැකි බවත්ය.

(වීඩියෝ දසුන් : CCTV+)

Trending

Exit mobile version