රංගන ශිල්පියෙකු සහ යූ ටියුබ් ක්‍රියාකාරියෙකු වන සුදත්ත තිලකසිරි මහතා තමාගේ කීර්ති නාමයට වූ හානිය සඳහා රුපියල් මිලියන 50ක වන්දි මුදලක් ඉල්ලමින් ඉරාජ් වීරරත්න වෙත එන්තරවාසි යොමු කර තිබේ.
ඒ, ඉරාජ් වීරරත්න මහතා විසින් තමාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කරනු ලැබූ බවට චෝදනා කරමිනි.
නීතීඥ ප්‍රවීණ සේනධීර මඟින් යොමු කළ අදාළ එන්තරවාසියෙහි දැක්වෙන්නේ, 2025 පෙබරවාරි 23 වන දින “ඉරාජ් ෂෝ” යූ ටියුබ් නාලිකාවේ විකාශය වූ සජීවී විකාශනයකදී සුදත්‍ත තිලකසිරි සහ ඔහුගේ පවුලේ බිරිඳ සහ සමීපතමයන් සම්බන්ධයෙන් අසභ්‍ය ප්‍රකාශ නිකුත් කර ඇති බවය.
එම වැඩසටහනේ අන්තර්ගතය ඔස්සේ හිතාමතාම සුදත්ත තිලකසිරිට අවමාන කර ඇති බවත් එමඟින් ඔහුගේ පෞද්ගලික සහ වෘත්තීය කීර්ති නාමයට දැඩි ලෙස හානි වී ඇති බවත් එහි සඳහන් වේ.
අදාළ වැඩසටහනේ ට්‍රේලරයේ, වැඩිහිටියන්ට පමණක් වෙන්වූ අන්තර්ගතයන් ඇතුළත් වෙබ් අඩවියක නාමය භාවිත කරමින් සුදත්ත තිලකසිරි සමච්චලයට ලක් කර ඇතු බවත් ඔහුට ආණ්ඩුවේ “ලොන්ඩරි මැෂිම” ලෙස අමතමින් ව්‍යාජ කරුණු නිරූපණය කර ඇති බවත් නීතීඥවරයා පෙන්වා දී තිබේ.
තවද, එම වැඩසටහන විකාශය වීමෙන් අනතුරුව සුදත්ත තිලකසිරිගේ බිරිඳ මානසික කම්පනයකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට සිදුව ඇති බවත් එන්තරවාසියෙහි සඳහන්ය.
ඒ අනුව, එම වැඩසටහන සහ එහි සියලුම අන්තර්ගතයන් සමාජ මාධ්‍ය අවකාශයෙන් ඉවත් කරගන්නා ලෙසත් සිය කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි ගෙවන ලෙසත් ඉල්ලා සිටින සුදත්ත තිලකසිරි මහතා පවසන්නේ, එම ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත් ඉරාජ් වීරරත්නට එරෙහිව නීතිමය පියවර ගනු ලබන බවය.