වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරා ගැනීමට කටයුතු කරන බවටත්, කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා සිදු කරන ලද තර්ජනයකට එරෙහිව නීති අංශවල උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කිරීමට ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පඩි පාලක සභාව විසින් වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමූවද, එම වැටුප ලබා දීමට එකඟ වීමට නොහැකි බවයි.
රජය විසින් මෙම වැවිලි සමාගම් සතු වතු ක්ෂණිකව අත්පත් කර ගැනීමට කටයුතු කළහොත් එය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා (SEC) නීති, සමාගම් පනත සහ අනෙකුත් අදාළ නීති උල්ලංඝනය කිරීමක් බවද වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේය.
එම සංගමය විසින් කොළඹදී ඊයේ (27) පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
රජය විසින් මෙම වැටුප් වැඩි කිරීමේ තීරණය ගෙන ඇත්තේ අත්තනෝමතික, අදූරදර්ශී හා ඒකපාර්ශ්වීයව බවද එම සංගමය පවසයි.
ලංකා වැවිලි කරුවන්ගේ සංගමයේ සභාපති සේනක අලවත්තේගම මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධව ජනාධිපතිවරයා, කම්කරු ඇමැතිවරයා සමග අවස්ථා තුනකදී සාකච්ඡා කළ බවය.
වැටුපට රුපියල් 5,000 ක දීමනාවක් ගෙවීම, ඵලදායිතාවය අනුව වැටුපක් ගෙවීම, යනාදී යෝජනා වැවිලිකරුවන්ගේ සංගමය විසින් එහිදී ඉදිරිපත් කරනු ලැබූවද එම යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු නොකර පඩි පාලක සභාව විසින් වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1,700 ක් දක්වා ඉහළ දමා ඇතැයිද සභාපතිවරයා පැවසීය.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා කියා සිටියේ වැටුප් වැඩි කිරීම සිදුකළ යුත්තේ තේ කර්මාන්තයට ඔරොත්තු දෙන ක්‍රමවේදයකට අනුව බවය.
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දැමීමට කැමැති නමුත්, කර්මාන්තය කඩා නොවැටෙන ලෙස එය ක්‍රියාත්මක කිරීමට ආදායමක් තිබිය යුතු බවය.
මෙලෙස රජය විසින් මෙම වැටුප් වැඩිකිරීම සිදුකර ඇත්තේ බලහත්කාරයෙන් බවත්, එය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු පැනනගින බවද ඔහු පැවසීය.
ලබා දීමට නොහැකි දෙයකට එකඟවීමට නොහැකි බවද ඔහු කියා සිටියේය.
මේ අතර, වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ යෝජනාව බලාත්මක කිරීමට දැඩි වෙහෙසක් ගනු ලබන්නේ ඉදිරි මැතිවරණවලදී වතු කම්කරු ජන්ද දිනා ගැනීමේ අපේක්ෂාවෙන් බවටත්, එසේම රජයේ වතු මිලදී ගැනීමට කිසියම් පිරිසක් සූදානමින් සිටින බවට ද මේ අතර රාවයක් පැතිර තිබේ.
එසේම විදෙස් විනිමය ශක්තිමත් කිරීමට නිතර වෙහෙසනෙ කම්කරු ඇමතිවරයා, විදෙස් විනිමය ලැබෙන ව්‍යාපාරයක් කඩා කප්පල් කිරීමට මෙතරම් තටමන්නේ මන්ද යන්න පිළිබඳව ද වැවිලි කේෂත්‍රයේ කතා බහට ලක්ව ඇතැයි පැවසේ.
මේ අතර, කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතාගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙසේ අවම වැටුප ක්‍රියාත්මක නොකරන වතු සමාගම් මෙලෙස නැවත රජයට පවරාගෙන, නිසි පරිදි ඒවා ක්‍රියාත්මක කළ හැකි අයට ලබාදීම සඳහා වන මූලික පනත සකස් කිරීමේ තීරණය ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ගත් බවත් ඇමැතිවරයා පැවසූ බවයි.