Connect with us

පුවත්

මනූෂගේ තගට වැවිලිකරුවෝ උසාවි යයි ; වතු පවරගන්න තීන්දුව ජනපති ගත්තා මනූෂ කියයි

Published

on

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරා ගැනීමට කටයුතු කරන බවටත්, කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා සිදු කරන ලද තර්ජනයකට එරෙහිව නීති අංශවල උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කිරීමට ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පඩි පාලක සභාව විසින් වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමූවද, එම වැටුප ලබා දීමට එකඟ වීමට නොහැකි බවයි.

රජය විසින් මෙම වැවිලි සමාගම් සතු වතු ක්ෂණිකව අත්පත් කර ගැනීමට කටයුතු කළහොත් එය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා (SEC) නීති, සමාගම් පනත සහ අනෙකුත් අදාළ නීති උල්ලංඝනය කිරීමක් බවද වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේය.

එම සංගමය විසින් කොළඹදී ඊයේ (27) පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

රජය විසින් මෙම වැටුප් වැඩි කිරීමේ තීරණය ගෙන ඇත්තේ අත්තනෝමතික, අදූරදර්ශී හා ඒකපාර්ශ්වීයව බවද එම සංගමය පවසයි.

ලංකා වැවිලි කරුවන්ගේ සංගමයේ සභාපති සේනක අලවත්තේගම මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධව ජනාධිපතිවරයා, කම්කරු ඇමැතිවරයා සමග අවස්ථා තුනකදී සාකච්ඡා කළ බවය.

වැටුපට රුපියල් 5,000 ක දීමනාවක් ගෙවීම, ඵලදායිතාවය අනුව වැටුපක් ගෙවීම, යනාදී යෝජනා වැවිලිකරුවන්ගේ සංගමය විසින් එහිදී ඉදිරිපත් කරනු ලැබූවද එම යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු නොකර පඩි පාලක සභාව විසින් වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1,700 ක් දක්වා ඉහළ දමා ඇතැයිද සභාපතිවරයා පැවසීය.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා කියා සිටියේ වැටුප් වැඩි කිරීම සිදුකළ යුත්තේ තේ කර්මාන්තයට ඔරොත්තු දෙන ක්‍රමවේදයකට අනුව බවය.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දැමීමට කැමැති නමුත්, කර්මාන්තය කඩා නොවැටෙන ලෙස එය ක්‍රියාත්මක කිරීමට ආදායමක් තිබිය යුතු බවය.

මෙලෙස රජය විසින් මෙම වැටුප් වැඩිකිරීම සිදුකර ඇත්තේ බලහත්කාරයෙන් බවත්, එය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු පැනනගින බවද ඔහු පැවසීය.

ලබා දීමට නොහැකි දෙයකට එකඟවීමට නොහැකි බවද ඔහු කියා සිටියේය.

මේ අතර, වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ යෝජනාව බලාත්මක කිරීමට දැඩි වෙහෙසක් ගනු ලබන්නේ ඉදිරි මැතිවරණවලදී වතු කම්කරු ජන්ද දිනා ගැනීමේ අපේක්ෂාවෙන් බවටත්, එසේම රජයේ වතු මිලදී ගැනීමට කිසියම් පිරිසක් සූදානමින් සිටින බවට ද මේ අතර රාවයක් පැතිර තිබේ.

එසේම විදෙස් විනිමය ශක්තිමත් කිරීමට නිතර වෙහෙසනෙ කම්කරු ඇමතිවරයා, විදෙස් විනිමය ලැබෙන ව්‍යාපාරයක් කඩා කප්පල් කිරීමට මෙතරම් තටමන්නේ මන්ද යන්න පිළිබඳව ද වැවිලි කේෂත්‍රයේ කතා බහට ලක්ව ඇතැයි පැවසේ.

මේ අතර, කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතාගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙසේ අවම වැටුප ක්‍රියාත්මක නොකරන වතු සමාගම් මෙලෙස නැවත රජයට පවරාගෙන, නිසි පරිදි ඒවා ක්‍රියාත්මක කළ හැකි අයට ලබාදීම සඳහා වන මූලික පනත සකස් කිරීමේ තීරණය ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ගත් බවත් ඇමැතිවරයා පැවසූ බවයි.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved