ජාතික ජන බලවේගයේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා අද (27) සවස ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටියදී සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඔවුන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති බවය.
අදාළ මන්ත්‍රිවරයා කනංකේ පොලීසියට පැමිණ ඇති බවද පොලීසිය පවසයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (27) පැවති අතර, එහිදී මොවුන් දෙදෙනා පැහැරගැනීමකට ලක්ව තිබුණි.
මන්ත්‍රිවරු දෙදෙනෙකු පැහැරගැනීමේ සිද්ධියක් පදනම් කරගනිමින් ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමේ කටයුතු කල් තැබීමට අද සිදුවුණි.
ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය සභිකධුර 22ක් හිමිකරගෙන තිබූ අතර සමගි ජනබලවේගය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හිමිකරගෙන තිබූ සභිකධුර සංඛ්‍යාවද 22කි.
ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් දකුණු පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට පමණ සභාවේ කටයුතු ඇරඹුණි.
නමුත් එම අවස්ථාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරයෙක් සහ මන්ත්‍රිවරියක් සභාවට පැමිණ නොසිටි අතර ඔවුන් දෙදෙනා පැහැරගැනීමට ලක්ව ඇතැයි එම පක්ෂයේ සෙසු නියෝජිතයින් සභාවට දැනුම්දී තිබුණි.
ඒ හේතුවෙන් ඔවුන් පැමිණෙන තෙක් සභාවේ කටයුතු අත්හිටුවන්නැයි ඔවුන් පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ඉල්ලා තිබුණි.
පළාත් පාලන කොමසාරිස්වරිය එම අවස්ථාවේ පවසා ඇත්තේ සභාවේ ගණපූරණය පවතින බැවින් එය සිදුකළ නොහැකි බවය.
මේ තත්ත්වය හමුවේ සභාව මිනිත්තු 30කට කල්ලැබීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කිරීමට උත්සාහ කිරීමත් සමඟ එම අවස්ථාවේ සභා පරිශ්‍රයට පැමිණ සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් සභා ගැබ තුළට පැමිණ සිය විරෝධය පළ කළේය.
මෙම නොසන්සුන් තත්ත්වය හමුවේ සභාවේ කටයුතු සිදුකරගෙන යාමට නොහැකි විය.
ඒ අනුව දින 30ක කාලයක් තුළ යළි සභාව රැස්වීමෙන් අපේක්ෂාවෙන් සභාව කල්තැබීමට දකුණු පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පියවර ගනු ලැබීය.
මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අජිත් ප්‍රියන්ත මන්ත්‍රිවරයා සහ කමනි මාලා අල්විස් මන්ත්‍රිවරියයි.
(පෙර පුවත 2025 ජූනි 27 පෙ.ව.10.51 )
මාලිමා මන්ත්‍රීන් දෙදෙනෙක් පැහැරගෙන (වීඩියෝ)
වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
අද (27) දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබීම මෙම උණුසුම් තත්ත්වය මතුකිරීමට හේතු වී තිබේ.
මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව සඳහන්ය.
මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.
https://sinhala.srilankamirror.com/wp-content/uploads/2025/06/WhatsApp-Video-2025-06-27-at-10.46.29.mp4