Connect with us

පුවත්

මැතිවරණ ක්‍රමයේ සංශෝධන නිසා කිසිදු මැතිවරණයක් කල් දාන්නෑ – විජයදාස

Published

on

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

1994 සිට ජනාධිපතිවරණවලදි දූෂණයට එරෙහිවීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පොරොන්දු ලබාදී ඇති නමුත් ඒ කිසිවක් ඉටු නොකළ බව පෙන්වාදුන් අමාත්‍යවරයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් මේ වනවිටත් සංශෝධන ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

පාර්ලිමේන්තුවේ සම්මත වීමට  නියමිත නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීම ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. මෙරට පවතින නීතියට අනුව දූෂණයක් යනුවෙන් සැළකෙන්නේ කාන්තාවකට සිදුවන අතවරයක් පමණයි. නමුත් නව සංශෝධන හරහා ස්ත්‍රී පුරුෂභාවයකින් තොරව වින්දිතයෙක් ලෙස සලකා  නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. මෙහිදී ස්වාමිපුරුෂයෙක් විසින් නීතියෙන් වෙන් වී සිටින බිරිඳකට සිදුකරන ලිංගික හිංසනය දූෂණයක් ලෙස ගැනෙනවා.  පොලිස් භාරයේ, බන්ධනාගාරයේ හෝ වෙනත් අයකුගේ භාරයේ සිටින විට සිදුවන බලහත්කාරකම්වලට ලබා දෙන දඬුවම වැඩි කිරීමටත් මෙමඟින් යෝජනා කර තිබෙනවා.

ඒ වගේම බාලවයස්කරුවෙක් කැමැත්තෙන් හෝ දූෂණ වරදක් සිදු කළහොත් වසර දහයක සිර දඬුවම් ලබාදීමට නීති සංශෝධනය කර තිබෙනවා. මෙම සියලු නීති සංශෝධන ඉදිරිපත් කර තිබෙන්නේ  ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පිරිසක් එක්ව වසර හතරක පමණ කාලයක් තුළ සිදුකළ අධ්‍යයනයකින් පසුවයි. විවිධ සමාජ ක්‍රියාකාරිකයන් මේ පිළිබඳ විරෝධතා දක්වමින් සිටිනවා. සමහර පාර්ශ්ව මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  අභියෝගයට ලක් කර තිබෙනවා.

ඊට අමතරව මැතිවරණ සංශෝධන පනතක් ද මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. 1994 දී චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති අපේක්ෂිකාවක්ව පැමිණ මැතිවරණ පොරොන්දු තුනක් ලබා දුන්නා. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික ඡන්ද ක්‍රමය අවලංගු කිරීමයි. කොට්ඨාසයකට වග කියන මන්ත්‍රීවරුන් පත්කිරීමද එහිදී යෝජනා කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවස්ථා ගණනාවකදී සංශෝධනය කළත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ සංශෝධන සිදු වුණේ නැහැ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ බලතල අවම කළා. ඒ වනතුරු ජනාධිපතිවරයා මනුෂ්‍ය ඝාතනයක් සිදු කළත් නඩුවක් පැවරීමට නොහැකි මුක්තියක් ලබා සිටියා. නමුත් 19 වන සංශෝධනය මගින් එම තත්ත්වය වෙනස් කළා. මේ වන විට ජනාධිපතිවරුන් හතර දෙනකුට විරුද්ධව අධිකරණය තීන්දු ලබාදී තිබෙනවා.

ඒ වගේම දූෂණයට වැට බැඳීම සම්බන්ධයෙන් නීති බලතල සහිත කොමිසමක් ද පත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ සිට පහළම නිලධාරියා දක්වා වත්කම් බැරකම් නිරීක්ෂණය කිරිමට මෙම කොමිෂන් සභාවට බලතල තිබෙනවා. එම කොමිෂන් සභාවට අදාළවත් යම් සංශෝධන කිහිපයක් මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා. දූෂණ ආක්‍රමිකතා කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරදීම එහි අරමුණයි. 1994 සිට සෑම නායකයකුම ජනාධිපතිවරණයකදී  මේ සම්බන්ධයෙන් පොරොන්දු ලබා දී තිබෙනවා. නමුත් ඒ කිසිම නායකයෙක් එම පොරොන්දු ඉටුකර නැහැ. නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික මැතිවරණය ක්‍රමය හඳුන්වා දීමට මෙවර සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දියාව, එංගලන්තය, සහ ඇමෙරිකාව වැනි රටවල මැතිවරණ ක්‍රමවල   අඩු ජනකොටස් නියෝජනය  වන පරිදි  කොට්ඨාස ක්‍රමයත් හඳුන්වා දී තිබෙනවා. සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි සෙනෙට් ක්‍රමයක්  ක්‍රියාත්මක විය යුතු බව  මගේද අදහසයි. පාර්ලිමේන්තු මැතිවරණයකදී දක්ෂයින්ට වඩා ජනප්‍රිය පුද්ගලයින් පාර්ලිමේන්තුවට පිවිසීම වැඩි වශයෙන් සිදුවෙනවා. නමුත් සෙනෙට් ක්‍රමයේදී ජනප්‍රිය නොවන දක්ෂ පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත් කිරීම සිදුකළ හැකියි.

මේ වනවිට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන හරහා මැතිවරණ කල් දැමීමේ අදහසක් තිබෙනවා  යැයි සමාජයේ යම් කතාබහක් මතුව තිබෙනවා. නමුත් මෙම සංශෝධන කිසිවක් මඟින් මැතිවරණ කල් දැමීමකට කිසිසේත්ම අපේක්ෂා නොකරන බව සඳහන් කළ යුතුයි. ඉදිරියේදී මැතිවරණ දෙකක් පැවැත්වෙනවා. එහිදී ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකයකුට මෙම මැතිවරණ සංශෝධනය ගැන ද ඔවුන්ගේ මතය ඉදිරිපත් කළ හැකියි. එමඟින් ජනතාවට මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ද හැකියාව ලැබෙනවා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved