2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
එමෙන්ම ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරයේ විශ්වාස කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ.
අදාළ පෙත්සම ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 82(6), 3, 4, 118 සහ 125 වගන්ති සමඟ කියවිය යුතු 126 වැනි වගන්ති ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙහි 3 වන වගන්තිය මගින් සංශෝධනය කරන ලද 30(2) වැනි වගන්තිය අර්ථ නිරූපනය නොකළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් බව සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු 2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.
පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතීඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.