Connect with us

පුවත්

මැදවච්චිය පොලිසියේ දූෂණ මර්ධන OIC රිමාන්ඩ්

Published

on

මැදවච්චිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා මේ මස 15 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මැදවච්චිය මහෙස්ත්‍රාත් නිමේෂා ධර්මදාස මෙනවිය ඊයේ (08) නියෝග කළාය.

ඒ රථ වාහන පරීක්ෂාවකදී ලොරි රථයක රියැදුරා ලෙස කටයුතු කළ තරුණයකුට පහරදී බරපතළ තුවාල සිදු කර පසුව සිදු කළ ශල්‍ය කර්මයකින් ඔහුගේ වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට සිදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තම‍ෙන්තුව මගින් අදාළ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

සැකකාර ස්ථානාධිපතිවරයා එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.

සැකකාර දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාගේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අවලංගු කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණරත්න කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරිය තරයේ ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය සිදු කළාය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරු දෙදෙනා ඇප මත මුදා හරින ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් අධිකරණයෙන් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් මේ මස 15 දින දක්වා යළි රිමන්ඩ් කරන ලෙසට නියෝග කළාය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවයි. 

සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා මේ වන විට පදවිය සහ කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානවල සේවය කරමින් සිටින බවත් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස එම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට දන්වා ඇතත් මෙතෙක් එය ක්‍රියාත්මක නොවූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රෝහණ ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙනී සිටි අතර පළමු සහ දෙවන සැකකාර පොලිස් සැරයන්වරුන් වෙනුවෙන් නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා සහ තුන් වන සැකකාර මැදවච්චිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණරත්න මහතා පෙනී සිටියහ.

නිරීක්ෂණ පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ උප සභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අනුරාධපුර ශාඛාවේ උප සභාපති නීතිඥ චතුර ධනංජය රණතුංග සමග නීතිඥ සඳුනි ජයතිලක‍ පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල සමග නීතිඥ දනුෂ්කා දන්තනාරායන පෙනී සිටියහ.

පුවත්

තීරුබදු අඩු කරගන්න බැරි වුණේ අහංකාරකම හින්දා

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවේ ආනයන සඳහා වන තීරුබදු සියයට 30කින් ඉහල නැංවීම රජයේ නියෝජිතයින්ගේ දුර්වල හා ආත්මාර්ථකාමී සාකච්ඡාවල ප්‍රතිඵලයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පෙළපොත් විශේෂඥයින්, සැබෑ ලෝකයේ සංකීර්ණ සාකච්ඡා සඳහා යොමුකිරීමේ අයහපත් ප්‍රතිඵල මින් පෙන්නුම් කෙරෙන බව විපක්ෂ නායකවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන ළමුන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන

Published

on

By

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ ඒකාබද්ධ සැලැස්මක සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පිළිබඳව ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ඊයේ (09) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා විසින් මෙලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මෙම වැඩසටහන, ඊට අදාළ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන මගින් ක්‍රියාත්මක කෙරෙන අතර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරේ.

මෙහිදී, මෙවර අයවැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දීම, එම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම, මෙම වැඩසටහන අදාළ රේඛීය ආයතන සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට විද්‍යාත්මක පසුබිමක් සහිත නව මොඩලයක් සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා විය. එම කරුණුවලින් සමන්විත යාන්ත්‍රණයක් සකස් කිරීමේ සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත සකස් කරන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, අතිරේක ලේකම්  එච්.ඒ.හේමා පෙරේරා,  සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වරුණි රසාදරි, ප්‍රජා සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාමාලගේ සහ රිජ්වේ ආර්යා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සංතුශිත සේනාධිපති යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව නතර කරයි

Published

on

By

හැටන් – සිංගිමලේ ජාලාශයෙන් ජලය ලබා ගැනීම ජල සම්පාදන මණ්ඩලය විසින් තාවකාලිකව නතර කර තිබේ.

ඒ සිංගිමලේ ජලාශයට පාසල් සිසුවෙකු වැටී ජීවිතක්ෂයට පත්වීමත් සමගය.

එම සිද්ධියෙන් පසු අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුලු පිරිසක් අද එම ජලාශ පරීක්ෂාවක යෙදී ඇති බව සඳහන්ය.

අනතුරුව සිදුකළ පරික්ෂාවකදී අනාවරණය වී ඇත්තේ දැනට සිංගිමලේ ජලාශයේ ජලය පානය සදහා සුදුසු නොවන බවටය.

එතෙක් වෙනත් ජල මූලාශ්‍රයකින් ජලය ලබා ගෙන පිරිපහදු කොට පාරිභෝගිකයන්ට සීමා සහිතව පානීය ජලය නිකුත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

පසුගිය 09 වනදා සිංගිමලේ ජලාශයට වැටීමෙන් 18 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved