කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබැස්වූ යානයේ සිටි මගීන් නැවත ගමනාන්ත සඳහා යොමුකිරීමට තවත් ගුවන් යානයක් කටුනායකින් පිටත්කර යවා තිබේ.
ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් හි ආයතනිත සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසුවේ, UL 302 ගුවන් යානය අද (06) පස්වරු 1.45ට කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගිය බවය.
මෙම යානය සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබස්වා එහි සිටින මගීන් සහ කාර්යමණ්ඩලය රැගෙන සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
කටුනායක සිට සිංගප්පූරුව දක්වා මගීන් 93 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු රැගත් ගුවන් යානයක් හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ අලුයම සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබුණි.
(පෙර පුවත 2025 ජූනි 06 ප.ව.12.01 )
ශ්‍රීලංකන් ගුවන් යානයක හදිසියේ කාර්මික දෝෂයකට ලක්වේ
කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL 306 දරන ශ්‍රීලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණි.
එහිදී ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවෙන බවට දැනුම්දීමත් සමග ගුවන් මගීන් එතෙක් හෝටල් කාමර තුළ රැඳවීමට මෙරට ශ්‍රීලංකන් බලධාරීන් තීරණය කර තිබේ.
කෙසේවෙතත් ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට ඉන්දුනීසියානු බලධාරීන් අවස්ථාව ලබානොදීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබූ අතර පසුව එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව විසඳාගැනීමට කටයුතු කර තිබූ බවද වාර්තා විය.
මේ අතර කාර්මික දෝෂයකට ලක්වූ ශ්‍රීලංකන් ගුවන්යානය පරීක්ෂා කිරීම සඳහා අද (06) අලුයම ජකර්තා බලා පිටත්ව ගිය ගුවන්යානයක මෙරට තාක්ෂණික කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබුණි.
දෝෂයට ලක්වූ ගුවන්යානයේ මගීන් යළි ගෙන්වාගැනීම සඳහා අද දහවල් 1:45ට තවත් ගුවන්යානයක් පිටත්ව යෑමට නියමිතය.