ශ්‍රී ලාංකික හෙදියන් 4,000ක් බදවා ගෙන රැගෙන යාමට සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දස දෙනෙක්ගෙන් යුතු පිරිසක් අධ්‍යයන චාරිකාවක් සදහා කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
වසර 20කට පසුව සිංගප්පූරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා පිවිසීමට ශ්‍රී ලාංකික හෙදියන්ට මෙම අවස්ථාව උදා වී ඇති බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කම්කරු සහ සුභසාධන ප්‍රධානී නිපුන තිබ්බුටුමුණුව මහතා කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය.
මෙම අධ්‍යයන චාරිකාව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක කරන අතර මෙම සිංගප්පූරු සෞඛ්‍ය නිලධාරීන් පිරිස ශ්‍රී ලංකා හෙද විදුහල, ශ්‍රී ජයවර්ධන මහ රෝහල, කොළඹ පෞද්ගලික රෝහලක්, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විෂයයන් පිළිබඳව පර්යේෂණයක නිරත වීමට නියමිතයි.
සිංගප්පූරුව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය එරට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති රාජ්‍ය සමාගම් මගින් ක්‍රියාත්මක වන අතර මෙසේ රැගෙන යාමට නියමිත ශ්‍රී ලාංකික හෙදියන් ද දැනට රාජ්‍ය රෝහල් තුළ සේවය කරන හෙදියන්ගෙන් තෝරා ගැනීමට නියමිතය.