යාපනයේ කාර්කෝවලම් ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් ගල් ගසා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (31) අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනාගෙන් පොලීසියට ලද තොරතුරුවලට අනුව තවත් පුද්ගලයෙකු මෙම ඝාතනයන් දෙකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මේ මරණ දෙකම සිදු කළ ප්‍රධාන සැකකරු දැනට අත් අඩංගුවට පත්ව සිටින දෙදෙනා අතර සිටින බවද පැවසේ.
මරා දමන ලද අඹුසැමි යුවල පේදුරුතුඩුව රෝහලේ කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ලබා ගෙන වසර ගණනාවක සිට එම කටයුත්ත කරගෙන යන අතර ඝාතකයා විසින් එම කටයුත්ත වෙනුවෙන් ඉදිරිපත් කරන ටෙන්ඩරය ඉවත් වෙන නිසා ලබන වසරේදී කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ඔහුවෙත ලබා ගැනීමේ යටි අරමුණෙන් මේ දෙදෙනා ඝාතනය කළ බවට ප්‍රධාන සැකකරු පොලීසියට පාපොච්චාරණය කොට ඇත.
ඔහුට හිතවත් අනෙක් දෙදෙනා එම ඝාතනයන් දෙක සිදු කිරීම පිණිස අත් උදව් ලබා දී තිබේ.
මෙම ප්‍රධාන ඝාතකයාට එරෙහිව මීට පෙර මිනී මැරුම් චෝදනාවක් හා මවට පහර දී මරා දැමීමට සූදානම් වූ බවට චෝදනා දෙකක් එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ නඩු දෙකක්ද ඇති අයෙක් බවද පැවසේ.
යාපනයේ පේදුරුතුඩුව පොලිස් වසමේ කාර්කෝවලම් පුනිතනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි මානික්කම් සුබ්‍රමනියම් නැමති අය හා ඔහුගේ බිරිද වන 51 හැවිරිදි මේරී රීටා නැමති දෙදෙනාව ඝාතනය කොට තිබුණේ ඔවුන් දෙදෙනා නිවසේ නිදා සිටියදී විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් ගල් කීපයකින් ඔවුන් දෙදෙනාගේ ඔලුවලට පහර දීමෙනි.