යාපනය ජනාධිපති මන්දිරය ඉදිකර ඇත්තේ යාපනයේ ජනතාවගේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමෙන් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළි වී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මන්දිරයේ ඉඩමට අයිතිකරුවන් අට දෙනකු ඉදිරිපත්වීම හේතුවෙන් එම මන්දිරය ආයෝජකයෙකුට ලබාදීමට ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි ද පැවසේ.
මෙම මන්දිරය ආයෝජකයෙකුට ලබාදීමට පෙර ඉඩමේ අවුල් සියල්ල නිරවුල් කරගත යුතු බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා මාධ්‍යට පවසා ඇත.
ඉඩමේ අවුල් නිරවුල් කරගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කර තිබේ.
යාපනයේ ජනාධිපති මන්දිරය විවිධ ආයෝජන සඳහා ලබා ගැනීමට කැනඩාවේ ආයෝජකයෙකු ඇතුළු පිරිසක් දැනටමත් ඉදිරිපත්ව ඇතැයි ද පැවසේ.
2010 2015 අතර කාල සීමාවේදී ඉදිකර ඇති යාපනය ජනාධිපති මන්දිරය පිහිටා ඇත්තේ කන්කසන්තුරේ ප්‍රදේශයේ අක්කර තිහක පමණ භූමිභාගයකය.
එම ඉඩමේ අක්කර පහළොවක් පුරා ගොඩනැගිලි ඉදිකර ඇත.