Connect with us

පුවත්

යුක්රේන යුද්ධයට ගිය ලංකා හමුදාවේ 3ක් මරුට;  ‘කපිතාන් ඩෙන්ටිස්ට්’ ඒ අතර

Published

on

යුක්රේන සටන් පෙරමුණේ භට කණ්ඩායම්වලට නායකත්වය දුන් යුක්රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයකු වන කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයන් තිදෙනකු රුසියානු හමුදා ප්‍රහාරයකින් පෙරේදා (04) මියගොස් ඇතැයි වාර්තා වේ.

රුසියානු රජයේ හමුදාවන් විසින් ‘කළු හතුරා’ ලෙස හඳුන්වන රුසියානුවන්ගේ ද ඉලක්කයක් ලෙස කපිතාන් රනිෂ් හේවගේ නම්කර තිබී ඇති බවද  මාධ්‍ය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා කමාන්ඩෝ බළකායේ පුහුණුව ලබා නීත්‍යනුකූල ලෙස ඉවත්ව යුක්රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයකු ලෙස 2022 මාර්තුවල බැඳුණු රුසියානු යුක්රේන යුද්ධයේ දී රනිෂ් සටන් පෙරමුණේ දැක් වූ වීරත්වය නිසා එරට ජනපති විසින් ජනාධිපති විශේෂ සම්මාන පහක් ඔහුට ප්‍රධානය කර ඇත.

සටන් පෙරමුණේ නව වතාවක් තුවාල ලබමින් යුක්රේන රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කළ රනිෂ් හේවගේ එරට හමුදාවෙන් ‘කපිතාන් ඩෙන්ටිස්ට්’ යන නාමයෙන් හඳුන්වා දී ඇත.

යුක්රේන ඉදිරි ආරක්ෂක වළල්ලට ඔබ්බෙන් මෙහෙයුමකට එක් වූ රනිෂ් හේවගේ යටතේ සිටින භට කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකික භටයකු වූ ප්‍රියන්ත සටන් පෙරමුණ් දී පෙරේදා (04) පෙරවරුවේ මියගොස් ඇත.

සටන් පෙරමුණට රුසියානු ප්‍රහාර දිගින් දිගටම එල්ල වීම නිසා මියගිය සෙබළාගේ සිරුර ගැනීමට යාම යුක්රේන හමුදා භටපිරිස් ඉදිරිපත් වී නොමැත.

එහිදී ශ්‍රී ලාංකික සෙබළාගේ සිරුර රැගෙන ඒමට යාමට කපිත්න් රනිෂ් හේවගේ ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී ඇති අතර ඔහුගේ සහායට තවත් ශ්‍රී ලාංකික භටයන් තිදෙනකු එක් වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම මෙහෙයුමෙන් තුවාල ලබා යුක්රේන හමුදා රෝහලක ප්‍රතිකාර ලබන යුද හමුදා කමාන්ඩෝ බළකායෙන් ඉවත්ව ගොස් යුක්රේන් හමුදාවට එක්වූ හතුරුසිංහ මෙසේ පවසා තිබිණි.

‘‘අපි ෆෝ මෑන් ටීම් එකක් විදියට රනිෂ් සර් සමග බොඩි එක ගන්න ගියා. මගදිම එක්කෙනෙක් තුවාල වුණ නිසා අපි තුන්දෙනයි ඉස්සරහට ගියේ. අපි ඉස්සරහින් ලයින් එකට යද්දිම ආටිලර් (කාලතුවක්කු) වලින් ගහන්න ගත්තා.ඩ්‍රෝන් ඇටෑක් එකකුත් ආවා. 04 වැනිදා උදේ 9.00ට විතර ආටිලරි එකක් වැටිලා සර් එක්ක මමත් තුවාල වුණා. අපිත් එක්ක ගිය සිංහ රෙජිමේන්ට් එකේ එක්කෙනා එකේදී මැරුණා. සර්ට තුවාල වෙලා තිබුණේ. මම සර්ව කිලෝ මීටර් පහළොවක් විතර අරන් ආවා. මගේ අතට ආටිලරි කෑලි වැදිලා තුවාල වෙලා තිබුණේ. රනිෂ් සර් වගේ වීරයෙක් සතුරු බිමේ මැරෙන්න දෙන්න බැරි නිසා මම කොහොමහරි එයාව අරගෙන එන්න ආවේ. අතරමගදී ආයෙත් රුසියානු ඩ්‍රෝනවලින් ගහන්න ගත්තා. ඒ අතරේ රනිෂ් සර් නැතිවුණා සර් අපිට හැමදාම කිව්වේ යුද්දෙදී මැරුණොත් බොඩි එක ගන්න එපා කියලයි. ඒත් මම උපරිම උත්සාහ කළේ සර්ව අරගෙන එන්නයි. දිගටම ඩ්‍රෝනවලින් ගහද්දී මට තනිවම පසුබහින්න වුණා”

තමා කමාන්ඩෝ පුහුණුව ලබා ප්‍රගුණ කර ඇති අත්දැකීම් උපයෝගි කරගෙන තම අණදෙන නිලධාරියාගේ සිරුර කෙසේ හෝ රැගෙන ඒමට යන බවද ඔහු සපථ කර ඇත.

යුක්රේන් රජයේ හමුදාවට මෙරටින් නීත්‍යනුකූල සේවයෙන් ඉවත්ව ගිය හැත්තෑ දෙනකු පමණ සේවය සඳහා එක්වීමට අයැදුම් කර ඇති අතර කපිතාන් රනීෂ් සමග ශ්‍රී ලාංකික භටපිරිස්වල විස්සකට ආසන්න පිරිසක් එහි සේවය කර ඇත.

ඔහු යටතේ කැනඩා හමුදා භට කණ්ඩායම්ද සේවය කර ඇත.

එක් සටනකදී ඔහු සමග සිටි කැනඩා භටයින් විසිඑක් දෙනකු මියගොස් ඇත.

කපිතාන් රනිෂ් හේවගේ එම සටනින් තුවාල ලබා දිවි බේරා ගෙන ඇත.

රනිෂ් මියදෙන්නට දින තුනකට පමණ පෙර ඔහුගේ මව, සහෝදරිය ඇතුළු පවුලේ සාමාජිකයන්ද යුක්රේනයට පැමිණ ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

කපිතාන් රනිෂ් හේවගේ අණදෙන භට කණ්ඩායමට එක්වීමේ අරමුණින් ශ්‍රී ලාංකික නිලධාරින් හා සෙසු නිලයන්වල හැත්තෑදෙනකු පමණ අසර්බයිජාන්, ඩුබායි හා ඉන්දියාවට ගොස් පෝලන්තය ඔස්සේ එරටට යාමට සූදානමින් සිට ඇත.

මෙරට ඇති ආර්ථික ප්‍රශ්නය හමුවේ මසකට රුපියල් ලක්ෂ දහයක්-දොළහක් අතර වැටුපකට ශ්‍රී ලාංකික හමුදාවල සිටි භට කණ්ඩායම් යුක්රේන් රජයේ හමුදාවට එක්වන බවද පැවසේ.

සටන් බිමේ මියගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් තිදෙනා සම්බන්ධව තානාපති අංශ මගින් ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමට ඊයේ (05) කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

අධිවේගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව ඔවුන්ට රිය ධාවන වේගය පැයට කිලෝමීටර 60ක වේගයෙන් පවත්වාගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇත.

Continue Reading

පුවත්

ඉදිරි කාලගුණ තත්ත්වය ගැන රතු නිවේදනයක්

Published

on

By

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය  බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා බලපැවැත්වේ.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම, බස්නාහිර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

මේ අතර, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි සහ තද සුළං මෙන්ම රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව, බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60 දක්වා වැඩි වන අතර මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවද සඳහන් වේ.

Continue Reading

පුවත්

ජනපති රනිල්ගෙන් ඉරානයට ශෝක ප්‍රකාශයක්

Published

on

By

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහිගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර තිබේ.

ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමිනි.

ඔවුන්ගේ ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වී ඇති බව එහි සඳහන් වේ.

එමෙන් ම ශෝකයට පත් වූ පවුල්වලට, රජයට සහ ඉරාන ජනතාවට සිය බලවත් සංවේගය ප්‍රකාශ කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පණිවිඩයේ සඳහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved