පුවත්

රජයේ වැඩපිළිවෙලට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහාය

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms.Severine Chappaz) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (25) සිදු විය.

ශ්‍රී ලංකාවේ නව රජය ගෙනයන වැඩපිළිවෙලට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහාය ලබාදීමට මෙහිදී අවධානය යොමු විය.

ඒ අනුව  අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට අදාළ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටත්, ධාරිතා සංවර්ධනය කිරීමටත් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ එකඟතාව පළ කෙරිණි.

අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති  වැඩසටහන්  සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවත්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කියා සිටියේය.

ජාති, ආගම් භේදවලින් තොරව එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, එක්ව ඉදිරියට යන ගමන වඩා සවිමත් කිරීම වෙනුවෙන් “Sri Lankan Day” සැමරීමට  රජය සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර රතුකුරුස  සංවිධානය 1989 සිට ශ්‍රී ලංකාවේ සිදු කරන මානුෂීය මෙහෙයුම් මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය ස්තූතිය පළ කර සිටියේය.

ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ  ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සන්නිවේදන කළමනාකරු රුවන්ති ජයසුන්දර මෙනවිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Trending

Exit mobile version