පුවත්

රටේම රබර් උණ්ඩ, හෙල්මට් හා ගෑස් මාස්ක් කොළඹට අදියි!

Published

on

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා දිවයිනේ පොලිස් කොට්ඨාස 12ක් භාරයේ තිබූ ගෑස් මුහුණු ආවරණ, කැරලි මර්දන පලිහ සහ හෙල්මට්, රබර් උණ්ඩ තොගයක් කොළඹ මධ්‍යම අවිගබඩාව භාරයට ගෙන තිබේ.

පොලිස් සහායක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා විසින් මීට අදාළ නියෝගය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 12 දෙනකු වෙත පෙරේදා සිදුකර තිබිණි.

ඒ අනුව එම කොට්ඨාස 12 බාරයේ තිබූ ගෑස් මුහුණු ආවරණ 575 ක්, කැරලි මර්දන පලිහ 450 ක්, කැරලි මර්දන හෙල්මට් 505 ක් සහ රබර් උණ්ඩ 1050 ක් ඊයේ මධ්‍යම අවි ගබඩාව බාරයට ගෙන්වාගෙන ඇතැයි වාර්තා වේ.

වර්තමානයේ කොළඹ කේන්ද්‍රගතව සිදුවන මහජනයාට පීඩාවක් සහ අවහිරයක් වන ආකාරයෙන් සිදුවන විවිධ උද්ඝෝෂණ මැඬ පැවැත්වීමට අදාළ කැරලි මර්දන උපකරණ සේවා අවශ්‍යතාව මත මෙලෙස ගෙන්වාගෙන ඇතැයි පැවසේ.

මෙම කැරලි මර්දන උපකරණ ගෙන්වාගෙන තිබුණේ අනුරාධපුරය, මඩකලපුව, ඇල්පිටිය, කුරුණෑගල, මාතලේ, පොළොන්නරුව, තංගල්ල, මහනුවර, කන්තලේ, නුවරඑළිය, පුත්තලම සහ ත්‍රිකුණාමලය කොට්ඨාසවල ඇති පොලිස් ගබඩාවලිනි.

Trending

Exit mobile version