Connect with us

පුවත්

රට පුරා එකම වෙලාවකට සැමරූ “2025 ජාත්‍යන්තර යෝගා දිනය”

Published

on

ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් පසුගියදා (19 ) වන දින දිවයින පුරා සැමරුම් මාලාවක් සංවිධානය කර තිබිණ.

මේ අනුව ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය කරමින් ශික්ෂණ සහ පර්යේෂණ ආයතන ඇතුළු ආයුර්වේද රෝහල් 113ක සහ විශ්ව විද්‍යාල 4ක එකම වේලාවක දී යෝගා වැඩසටහන් පවත්වන ලදී. 

ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන වැඩසටහන අද (21)  පෙ.ව. 6.30ට කොළඹ, නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි.

මේ හා සමගාමීව දිවයින පුරා යෝගා ව්‍යායාම සඳහා උනන්දුව තීව්‍ර කරමින් යාපනය, මහනුවර සහ හම්බන්තොට ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික ආයතන විසින් ද යෝගා දින සැමරුම් සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයුර්වේද දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව තුළ ආයුර්වේදය සහ වෙනත් සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කිරීමට, නියාමනය කිරීමට සහ ආරක්ෂා කිරීමට තිබෙන ප්‍රධානතම ආයතනය වේ. සාකල්‍ය සෞඛ්‍යය සහ සුවතාවය සඳහා කැපවීමේ කොටසක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් යෝගා ව්‍යායාම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, අධ්‍යාපනය සහ පර්යේෂණය තුළ වැදගත් අංගයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ.

2025 ජාත්‍යන්තර යෝගා දිනයේ තේමාව වන “Yoga for One Earth, One Health – මුළු ලොවෙහි මනා පැවැත්ම සහ අප සැමගේ නිරෝගීභාවය” යන්න පුද්ගල සුවතාවය සහ අපගේ පෘථිවියේ මනා පැවැත්ම අතර පවතින දැඩි සම්බන්ධතාවය පිළිබිඹු කරයි. සිරුර, මනස සහ ස්වභාව ධර්මය අතර මනා සුසංයෝගීතාවය පදනම් කරගත්
පෞරාණික ක්‍රමවේදයක් වන යෝගා ගෝලීය සෞඛ්‍යය සහ පාරිසරික වශයෙන් දක්වන සැලකිලිමත්භාවය සඳහා අත්‍යාවශ්‍ය තිරසාර සහ සමබර ජීවන ක්‍රමයක් ප්‍රවර්ධනය කරයි. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා මෙම විශ්වීය පණිවිඩය අවධාරණය කරමින් සෑම වසරකම ජූනි 21 වන දින ජාත්‍යන්තර යෝගා දිනය ලෙස නම් කරන
ලෙස 2014 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේය. එතැන් සිට යෝගා දිනය අභ්‍යන්තර සාමය සහ සාමූහික සුවතාවය ළඟා කර ගැනීම සඳහා යෝගා ව්‍යායාම පුරුදු පුහුණු කිරීමට මිලියන ගණනක ජනතාව දිරිමත් කරන ගෝලීය ප්‍රයත්නයක් බවට පත් වී ඇත.

පුවත්

ADB සහ NIRDC අතර පර්යේෂණ වාණිජකරණය පිළිබද සාකච්ඡාවක්

Published

on

By

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නියෝජිත තකෆුමි කඩොනො (Takafumi Kadono) මහතා සහ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයහි (NIRDC) නියෝජිතයන් අතර හමුවක් ඊයේ (20) ආසියානු සංවර්ධන බැංකු ශ්‍රී ලංකා නියෝජිතායතනයේදී පැවැත්විණි. 

පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය හා සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම්, ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති සැකසීම සඳහා මෙන්ම පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) මගින් ක්‍රියාත්මක කරන වාණිජකරණ ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගැනීම පිළිබදව අදහස් හුවමාරු කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

මෙම හමුවට පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් බහුල සිංගප්පූරුවේ නන්‍-යැන්ග් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙහි (Nanyang Technological University) මහාචාර්ය ලර්වෙන් ලු (Professor Lerwen Liu) සහ IITM ප්‍රවර්තක් තාක්ෂණ පදනමෙහි (IITM Pravartak Technologies Foundation) නව ප්‍රවේශයන්හි (New Initiatives) ප්‍රධානියා වන රාජේන්ද්‍ර මෝතා (Rajendra Motta) යන මහත්වරුන්ද සහභාගී වූහ.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC)නියෝජනය කරමින් විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මෙන්ම NIRDC නිර්මාතෘ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය , NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා, අධ්‍යක්ෂ (ආයෝජන) ඉඳුනිල් ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

Published

on

By

ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු විධිමත් ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය මේ බව අද (21) ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ඉරානයේ සිටින නේපාල ජාතිකයන්ටද මෙලෙසම සිය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත්ව සිටියි.

ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ, අසල්වැසි රටවල් දෙකෙහිම පුරවැසියන් ඉවත්කිරීම ‘සින්ධු මෙහෙයුම’ යටතේ සිදුකරන බවයි.

Continue Reading

පුවත්

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මෙරටට

Published

on

By

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ලබන 23 වනදා සිට මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතය.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ලබන 23 වන දා සිට 26 වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙයයි.

මෙම සංචාරය අතරතුර දී මහ කොමසාරිස්වරයා , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවීමට නියමිතය.

එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුලු තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ,රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් , සිවිල් සමාජ නියෝජිතයන් ,රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

මහකොමසාරිස්වරයා මහනුවර දළදා මාළිගාවට ද ගමන් කිරීමට නියමිතය.

එහිදී අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් හි මහානාහිමිවරුන් බැහැ දැකීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම යාපනය සහ ත්‍රිකුණාමලය වෙත ද සංචාරය කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද අපේක්ෂිතය.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සමග ශ්‍රී ලංකා රජය අඛණ්ඩව සිදුකරන ඵලදායී සම්බන්ධතාවයට අනුව යමින් මානව හිමිකම් සහ සංහිදියාව ප්‍රවර්ධනය මෙන්ම ආරක්ෂා කිරීම කෙරෙහි මෙම සංචාරය අතරතුර දි වැඩි අවධානයක් යොමුවනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved