පුවත්

රට පුරා එකම වෙලාවකට සැමරූ “2025 ජාත්‍යන්තර යෝගා දිනය”

Published

on

ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් පසුගියදා (19 ) වන දින දිවයින පුරා සැමරුම් මාලාවක් සංවිධානය කර තිබිණ.

මේ අනුව ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය කරමින් ශික්ෂණ සහ පර්යේෂණ ආයතන ඇතුළු ආයුර්වේද රෝහල් 113ක සහ විශ්ව විද්‍යාල 4ක එකම වේලාවක දී යෝගා වැඩසටහන් පවත්වන ලදී. 

ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන වැඩසටහන අද (21)  පෙ.ව. 6.30ට කොළඹ, නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි.

මේ හා සමගාමීව දිවයින පුරා යෝගා ව්‍යායාම සඳහා උනන්දුව තීව්‍ර කරමින් යාපනය, මහනුවර සහ හම්බන්තොට ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික ආයතන විසින් ද යෝගා දින සැමරුම් සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයුර්වේද දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව තුළ ආයුර්වේදය සහ වෙනත් සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කිරීමට, නියාමනය කිරීමට සහ ආරක්ෂා කිරීමට තිබෙන ප්‍රධානතම ආයතනය වේ. සාකල්‍ය සෞඛ්‍යය සහ සුවතාවය සඳහා කැපවීමේ කොටසක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් යෝගා ව්‍යායාම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, අධ්‍යාපනය සහ පර්යේෂණය තුළ වැදගත් අංගයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ.

2025 ජාත්‍යන්තර යෝගා දිනයේ තේමාව වන “Yoga for One Earth, One Health – මුළු ලොවෙහි මනා පැවැත්ම සහ අප සැමගේ නිරෝගීභාවය” යන්න පුද්ගල සුවතාවය සහ අපගේ පෘථිවියේ මනා පැවැත්ම අතර පවතින දැඩි සම්බන්ධතාවය පිළිබිඹු කරයි. සිරුර, මනස සහ ස්වභාව ධර්මය අතර මනා සුසංයෝගීතාවය පදනම් කරගත්
පෞරාණික ක්‍රමවේදයක් වන යෝගා ගෝලීය සෞඛ්‍යය සහ පාරිසරික වශයෙන් දක්වන සැලකිලිමත්භාවය සඳහා අත්‍යාවශ්‍ය තිරසාර සහ සමබර ජීවන ක්‍රමයක් ප්‍රවර්ධනය කරයි. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා මෙම විශ්වීය පණිවිඩය අවධාරණය කරමින් සෑම වසරකම ජූනි 21 වන දින ජාත්‍යන්තර යෝගා දිනය ලෙස නම් කරන
ලෙස 2014 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේය. එතැන් සිට යෝගා දිනය අභ්‍යන්තර සාමය සහ සාමූහික සුවතාවය ළඟා කර ගැනීම සඳහා යෝගා ව්‍යායාම පුරුදු පුහුණු කිරීමට මිලියන ගණනක ජනතාව දිරිමත් කරන ගෝලීය ප්‍රයත්නයක් බවට පත් වී ඇත.

Trending

Exit mobile version