රත්මලාන ගුවන් තොටුපළේ ගාලු පාරේ මායිම් තාප්පය ඉවත් කිරීම සඳහා සමාලෝචනයක් සිදුකර තීරණයක් ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය සිදුකළ අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් අවදානය යොමුකරමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
රත්මලාන ගුවන් තොටුපළේ ගාලු පාරේ අඩි 09 කින් යුත් තාප්පය ජාත්‍යන්තර ගුවන් තොටුපළ රෙගුලාසි උල්ලංඝනය කරන බවට අනාවරණය වී තිබේ.
එම තාප්පයේ පිහිටීම හේතුවෙන් සුළු කාර්මික දෝෂයක් වුවද ගුවන් යානයක් තාප්පයේ ගැටීමෙන් විශාල අනතුරක් සිදුවිය හැකි බවයි ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය පවසයි.
මෙම අවදානම සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකර එම තාප්පය ඉවත් කිරීමේ තීරණය ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන පැවසුවේය.
ගුවන් තොටුපළ රෙගුලාසි උල්ලංඝනය කරමින් දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපොළේ ඉදිකර තිබූ තාප්පයක ගුවන් යානයක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් ජීවිත 179ක් පසුගිය දා අහිමි විය.