Connect with us

පුවත්

රතුපස්වල නඩු තීන්දුව ලැබෙයි

Published

on

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 50 දෙනකුට පමණ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජනරාල් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව් දෙනාට එරෙහිව නගා ඇති චෝදනා නීතිපතිවරයා විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපහොසත් වී ඇතැයි තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම චූදිතයන් පිරිස නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කරන ලදී.

මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (17) උදෑසන 9.30ට ප්‍රකාශයට පත් කිරීම සිදුවිය.

ගම්පහ නැදුන්ගමුවේ පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් භූගල ජලය අපවිත්‍රවීම නිසා එම කම්හල ඉවත් කරන ලෙසත්, පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලමින් 2013 ජූලි මස 27 වැනිදා සිට දින පහක් පුරා පැවැති සාමකාමී විරෝධතාවයට 2013 අගෝස්තු මස පළමු වැනිදා යුද හමුදාව විසින් පහර දී වෙඩි තැබීය. එම ප්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය අතර තවත් පාසල් සිසුහු10කට ආසන්න ගණනක් ඇතුළු 50ක පමණ පිරිසක් තුවාල ලැබූහ.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙහි විමර්ශන යටගසා තිබියදී එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරණ ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ප්‍රදේශවාසීන් පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට පැමිණිලි කළේය. ඉන් පසු විමර්ශන රහස් පොලිසියට පැවරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි රවී සෙනවිරත්න, නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල යන දෙදෙනාගේ අධීක්ෂණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු සහකාර පොලිස් අධිකාරී වත්මන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී එස් තිසේරා මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති රංජිත් මුණසිංහ සහ එහි පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර යන නිලධාරීහු ඇතුළු පිරිසක් විමර්ශන සිදු කළහ. විමර්ශනවලින් පසු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා නිලධාරීහු හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. විශේෂත්වය යුද හමුදාව විසින්ම කළ පරීක්ෂණයකින් ද බ්‍රිගේඩියර්වරයා වැරදිකරු කර තිබීමයි. එම වාර්තා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවද අධිකරණයට ඉදිරිපත් කලේය.

මෙම නඩුවේ දී බ්‍රිගේඩියර්වරයා ඇතුළු පිරිසට එරෙහිව චෝදනා අනූගණනක් ඉදිරිපත් කර තිබුණු අතර සාක්කිකරුවෝ ද 70කට ආසන්න සංඛ්‍යාවක් ලැයිස්තුගත කර තිබිණි. කෙසේවෙතත් නීතිපතිවරයා සාක්කි සඳහා කැඳවූයේ ඉන් කිහිප දෙනකු පමණි.  නඩුව මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද වරින් වර වෙනස් විය. නඩුවේ තීන්දුව මීට පෙර ලබාදීමට නියමිතව තිබූ දිනයේ දී නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිම නිලධාරියකු පැමිණ නොසිටි අතර ඔවුන් ලිඛිත දේශන ලබාදීමට ද ප්‍රමාද වූ බව චූදිතයන්ගේ නීතිඥවරු දැනුම් දුන්හ.

රතුපස්වල වින්දිතයන් ප්‍රකාශ කළේ මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවය.

සබැඳි පුවත් :

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved