පුවත්

රෝද පුටුවක්වත් නැතුව හදවත් රෝගියෙක් උසාවියට

Published

on

රෝගී තත්ත්වයේ පසුවන බන්ධනාගාර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔවුන්ට රෝද පුටු පහසුකම් සැපයීමට හැකියාවක් බන්ධනාගාරයට නැද්ද යන්න පිළිබඳව අධිකරණයට වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාට නියම කර තිබේ.

ප්‍රභූ තත්ත්වයේ පසුවන බන්ධනාගාර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔවුන්ට ගිලන් රථ මෙන්ම රෝද පුටු පහසුකම් ද සැපයීමට බන්ධනාකාර රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කළත් 20% පමණක් හෘද ක්‍රියාකාරිත්වයක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් පවසන තම සේවාදායකයා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔහුට රෝද පුටුවක්වත් දීමට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් කාරුණික වී නැති බව කියමින් නීතිඥ ධම්මික රත්නායක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

හෙරොයින් ග්‍රෑම් 13 කට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින කසුන් ධනංජය නමැත්තාට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සැකකාර කසුන් ධනංජය නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධම්මික රත්නායක මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයා රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයක් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ පසු ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්ය.

කොළඹ ජාතික රෝහලේදී තම සේවාදායකයා පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන් තම සේවාදායකයාගේ හෘද ක්‍රියාකාරීත්වය ඇත්තේ 20%ක් පමණක් බවත් ඔහුගේ හෘද කපාටවල යම් ගැටලුවක් මෙන්ම ඔහුට ජීවිත අවධානමක් ඇති බවත් වාර්තා කර ඇති බව දැනුම් දුන් නීතිඥ ධම්මික රත්නායක මහතා ඔහුට පිටි සහිත ආහාර මෙන්ම ගන ආහාර නොදැන ලෙස විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කර ඇතත් බන්ධනාගාරයේදී ඔහුට දෙන්නේ පාන් පමණක් බවද පැවසීය.

ප්‍රභූ තත්වය පසුවන බන්ධනාගාර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔවුන්ට ගිලන් රථ මෙන්ම රෝද පුටු පහසුකම් ද සැපයීමට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කළත් ජීවිත අවදානමක් ඇති හෘද ක්‍රියාකාරීත්වය 20% පමණක් ඇති තම සේවාදායකයා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ගිලන් රථයකින් ඔහු අධිකරණයට ගෙන ඒමට පියවර ගත්තද , ඔහුට රෝද පුටුවක්වත් දීමට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් කාරුණික වී නැති බව ධම්මික රත්නායක මහතා පැමිණිල කලේය.

මහේස්ත්‍රාත්වරිය ඒ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් කැඳවාගෙන ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවා ගිලන් රථයකින් අධිකරණයට පැමිණි බව හෙළි වීමෙන් පසු විත්ති කූඩුව තුළ සැකකරුට අසුන්ගෙන සිටීම සඳහා පුටුවක් ලබා දී තිබේ.

නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හෘද ක්‍රියාකාරීත්වය 20% පමණක් ඇති බව කියන පුද්ගලයෙකුට හිටගෙන සිටීමට හැකියාවක් නැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇබ්බැහි වී ඇති කරුණු හේතුවෙන් මෙම රෝගී තත්ත්වයන් හට ගැනීමට හැකියාව ඇති බවද පෙන්වා දුන්නේය.

ඖෂධ නොමැතිව ලංකාවේ රෝහල්වලදී කිසිවෙකු මිය නොයන බවද අවධාරණය කළ මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට සැකකරු යොමු කර අවශ්‍ය ප්‍රතිකාර දීමටද ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියම කලේය.

රෝගී තත්ත්වයේ පසුවන බන්ධනාගාර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔවුන්ට රෝද පුටු පහසුකම් සැපයීමට හැකියාවක් බන්ධනාගාරයට නැද්ද යන්න පිළිබඳව අධිකරණයට වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාට නියම කර තිබේ.

Trending

Exit mobile version