ඉන්දියානු ධජය සහිතව කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ නැවකින් තෙල් කාන්දුවක් සිදුවීම හේතුවෙන් අදාළ නැව අයත් ඉන්දියානු සමාගමට රුපියල් මිලියන 15ක දඩ මුදලක් ගෙවන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නියෝග කර ඇත.
අදාළ වන්දි මුදල නැවේ රක්ෂණ සමාගමෙන් අය කර ගැනීමට නියමිත බවද වාර්තා වේ.
කොළඹ වරායට ආ මෙම නැව නැංගුරම්ලා තිබිය දී එහි නඩත්තු කටයුත්තක් අතර හෝස් බටයක් පුපුරා යෑමෙන් මුහුදට තෙල් කාන්දුව සිදුව ඇත.
මෙම තෙල් කාන්දුව වරාය තටාකාංගණයේ දී සිදුවී තිබෙන බැවින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දඩ මුදල් නියම කර තිබේ.
එම දඩ මුදල ගෙවීමට නැව අයත් ඉන්දියානු සමාගම එකඟතාවය පළකර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි.
මෙවැනි ඉන්ධන කාන්දුවක දී අධිකරණයකදී දඩ මුදල් නියම කෙරෙන්නේ රුපියල් මිලියන 4 සිට 15 දක්වා බවද පැවසේ.
නැතහොත් අධිකරණයට නොගොස් අදාළ සමාගමට උපරිම දඩය ගෙවා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් නැව නිදහස් කරගැනීමේ හැකියාව ඇත.
වරාය පරිශ්‍රය තුළ දී මෙම ඉන්ධන කාන්දුව සිදුවී තිබෙන බැවින් සාගර කලාපයට විශාල පරිසර හානියක් සිදුවී නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.