දේශපාලන වශයෙන් දැඩි ලෙස විරසක වී සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කඩිනමින් පැවැත්විය යුතු යැයි ජනාධිපති කාර්යාලය විසින් යෝජනා කර ඇතැයි වාර්තා වේ.
කලක් බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයකු ලෙස කටයුතු කළ නිමල් ලන්සා මන්ත්‍රීවරයා පසුව තවත් මන්ත්‍රී පිරිසක් සමඟ මැතිසබයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ගොඩනගා එයට නායකත්වය ලබා දෙමින් සිටී.
කෙසේ හෝ මෙම විශේෂ හමුව පැවැත්වීමේ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම නිමල් ලන්සා මන්ත්‍රීවරයා වෙත ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වෙයි.
මෙහිදී ලන්සා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට බැසිල් රාජපක්ෂ මහතා හමුවිය හැකි නමුත් තමන්ගේ දේශපාලන ස්ථාවරය වෙනස් නොකරන බවයි.
ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා කැඳවීම සම්බන්ධයෙන්ද නිමල් ලන්සා සහ අනුර යාපා යන ස්වාධීන මන්ත්‍රීන්ගේ නව සන්ධානයේ ප්‍රධානීන් දැඩි විරෝධය පළ කර තිබිණි.
මෙම විරෝධතා සමථයට ජනාධිපතිවරයා අදාළ හමුව සම්බන්ධීකරණය සඳහා වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පත්කර ඇති බව සඳහන්ය.
ඉදිරි සතියේදී බැසිල් – ලන්සා හමුව පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.
ලන්සා පිලේ හිතුවක්කාරී වැඩ ඉදිරි ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටු පක්ෂයේ සහය ලබා ගැනීමට ඇති අවස්ථාව දුරස්කරමින් තිබෙන බවට වික්‍රමසිංහ මහතාගේ කිට්ටුවන්තයින්ගෙන් ලන්සාට චෝදනා එල්ලවෙමින් ඇතැයි ද මේ අතර වාර්තා වේ.
මූලාශ්‍රය – දේශය
සබැඳි පුවත්
ලන්සාට අමුත්තා නිසා ජනපතිගේ රෑ කෑමත් එපා වෙයි