පුවත්

ලෝක බල අරගලය මෙරට බල පෙරළියකට තුඩුදිය හැකියි – රනිල්

Published

on

ලෝකය බල අරගලයක් වෙත ගමන් කරන අවදානම් තත්ත්වය යටතේ ඉතා දුර්වල ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

එය මෙරටේ බල හුවමාරුවකට පවා තුඩු දිය හැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් රචිත “විකල්ප මඟ” කෘතිය කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පසුගියදා හිටපු ජනාධිපතිවරයාට පිරිනැමීම සඳහා පැවැති සුහද හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

“ඊශ්‍රාලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාරය දියත් කළේ ඉරානය පරමාණුක බලශක්තිය සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි. ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා. ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැගී සිටිනවා. එම බලවේගය ඇමරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්. චීන මුදල් ඒකකය අන්තර් ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේ මුදල් ඒකකයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. එය BRICS ඇතුළු රටවල් දැනටමත් භාවිත කිරීමට පටන් ගෙන තිබෙනවා. එය අපේ රටටද ඉදිරියේදී අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේදී භාවිත කළ හැකි මුදල් ඒකකයක්. මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමරිකා ඩොලර් ට්‍රිලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමග අපි ගමන් කළ යුතුයි.”

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ගැන කියමින් ඔහු විපක්ෂයේ හදවත බදු බවත් ඔහු ආරක්ෂා කිරීමේ වගකීම අපි සැමට ඇති බවත් කීවේය.

Trending

Exit mobile version