පුවත්

වරම ලැබුනෙ ඡන්ද කරන්න නෙමෙයි රට ගොඩ දාන්න – ජනපති

Published

on

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) නිල වශයෙන් දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එජාප ය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ජ්‍යෙෂ්ඨ නායකයන්ව කොළඹ දී ඊයේ සවස හමු වූ අවස්ථාවේදී ජනපතිවරයා මේ බව දැනුම් දුන් බවයි.

තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව දෙවසරක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටෙකත් සූදානම් නැතැයි ද ඔහු අවධාරණය කළ බවත් එහි දැක්වේ.

එම නිවේදනයේ මෙසේද දැක්වේ :

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේ නම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකයන්ට දැනුම් දුන්නේය.

ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දයට සහභාගී වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් 40%ක් අලුත් මුහුණු දැමීම සුදුසු බව තම මතය යැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන සඳහා පත් වන සභිකයන් හාරදහසකට පමණක් පඩි සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බව කී ජනාධිපතිවරයා ඉතිරි පිරිස පඩි සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන්නේදැයි දැනුම් දිය යුතුව ඇතැයිද කියා සිටියේය.

Trending

Exit mobile version