Connect with us

පුවත්

වරායේ හා ගුවන්තොටේ පහසුකම් වැඩිකරන්න ජපානයෙන් ප්‍රදානයක්

Published

on

මිලියන 1.5 කට ආසන්න විදේශ සංචාරකයන්ගේ පැමිණීමත් සමඟ මිලියන 7.5 ක මගී නිශ්කාෂණයක් සටහන් වූ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ [Bandaranaike International Airport (BIA)] සංඛ්‍යාලේඛණ, COVID – 19 වසංගතයෙන් පසු සහ 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව නැවත සංවර්ධනයේ ගමන් මගට අවතීර්ණ වී ඇති බව පෙන්නුම් කරයි. 

මෙම ධනාත්මක ප්‍රවර්ධනය සමග ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ වරායන් සහ තොටුපළ [Points of Entry (PoE)] කිසිදු වසා දැමීමකින් තොරව ක්‍රියාත්මක වීම පෙර කවරදාටත් වඩා ජාතික ප්‍රමුඛතාවයක් බවට පත්ව ඇත.
මෙම බලාපොරොත්තු සහගත පසුබිම තුළ, ශ්‍රී ලංකා සහ මාලදිවයින් රාජ්‍යයන්හි ඇතුළු වීමේ වරායන් හා තොටුපල සංවර්ධනය කිරීම සදහා ජපාන රජය විසින් සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය [International Organization for Migration (IOM)] හරහා ඇමරිකානු ඩොලර් මිලියන 8.4 ක ප්‍රදානයක් ලබා දී ඇත.

මෙම ප්‍රදානය මගින් ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල (BIA) සහ කොළඹ වරාය ඉදිරියේදී ඇතිවිය හැකි වසංගත හෝ බෝවන රෝග වැනි හදිසි තත්වයන් හට මුහුණ දීමට හැකිවන පරිදි වැඩි දියුණු කරමින් ශක්තිමත් කිරීම අපේක්ෂා කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ ලබා දෙන පළමු උපකරණ තොගය 2024 අප්‍රේල් 10 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේදී ලබා දෙන ලදි.

ව්‍යාපෘතිය මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ කොළඹ වරාය වෙත අධි තාක්ෂණික ගමන් මලු සහ සම්පූර්ණ ශරීර පරීක්ෂා කල හැකි පරිලෝකන යන්ත්‍ර (ස්කෑන් යන්ත්‍ර), මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියකින් [Face Recognition System (AFRS)] සමන්විත ස්වයංක්‍රීය ප්‍රත්‍යන්ත පාලන [Automated Border Control (ABC)] ගේට්ටු, ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ යන්ත්‍ර, සහ ජෛවමිතික ව ප්‍රවේශ පාලනය කිරීමේ පද්ධතියක් ඇතුළු අති නවීන තාක්ෂණික උපකරණ සහ පහසුකම් ලබා දීමට නියමිතය. මීට අමතරව මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයන්හි පහසුව සඳහා ස්පර්ශයෙන් තොරව සංවේදක මත ක්‍රියාත්මක වන සනීපාරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත සුහුරු වැසිකිලි 150ක් ප්‍රතිසංස්කරණය කිරීමටද නියමිතය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා මෙම උත්සවය අමතමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා ජපානයේ නොසැලෙන කැපවීම නැවත තහවුරු කිරීමට ලැබීම ගැන තමන් ආඩම්බර වන බවත් බණ්ඩාරනායක ගුවන්තොටුපළ සහ කොළඹ වරාය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ලබා දෙන මෙම ප්‍රධානය මඟින් ශ්‍රී ලංකාවේ පිවිසුම් තොටුපළවල් වැඩි දියුණු කිරීම අපේක්ෂිත බවත් සදහන් කළේය. මෙම ප්‍රවේශය ශ්‍රී ලංකාවේ පිවිසුම් තොටුපළවල් හදිසි අවස්ථාවන්හිදී බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට උපකාරී වනු ඇති බවට අපේක්ෂා කරන බව ද තානාපතිතුමන් විසින් වැඩිදුරටත් පවසා සිටින ලදි.

මීට අමතරව, මෙම ව්‍යාපෘතිය මගින් පිවිසුම් තොටුපළවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවාවන් සඳහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම මෙන්ම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි හුදකලා කාමරය සියලු පහසුකම් වලින් සමන්විතව ප්‍රතිසංස්කරණය කිරීමත් අපේක්ෂිතය. මෙම වැඩි දියුණු කිරීම්, මෙම පිවිසුම් තොටුපළවල් ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි [International Health Regulations (IHR)] වලට අනුකූලව සකස් කිරීමට උපකාරී වනු ඇත.

ව්‍යාපෘතිය හරහා කොළඹ වරායේ වරාය සෞඛ්‍ය සේවය සඳහා තට්ටු හතරකින් යුත් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමටද නියමිත අතර, මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීමට හැකි වන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රත්‍යන්ත පාලනය ශක්තිමත් කිරීම සඳහා පුළුල් පුහුණුව ලබා දීම තුලින් කාර්ය මණ්ඩල ධාරිතාව වැඩිදියුණු කිරීමද අපේක්ෂිතය. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම වේගවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල 25 කට ජෛවමිතික දත්ත ලබා ගැනීමට අවශ්‍ය වන උපකරණ කට්ටල ලබා දෙනු ලබන අතර, මෙමගින් දූත කාර්ය මණ්ඩල වලට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වීමට හැකි වනු ඇත.

මෙම කාලීන මුල පිරීම පිළිබඳව අදහස් දක්වමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය  ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා, සෞඛ්‍ය සූදානම සැලකිය යුතු ලෙස ඉහළ නංවන මෙම වැදගත් ව්‍යාපෘතිය සඳහා ජපාන රජය, සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය හරහා ලබා දුන් නොමසුරු මුල්‍ය ආධාරය පිළිබඳව තමන් අතිශයින් කෘතඥ වන බවත් පවසා සිටියේය. මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගුවන් තොටුපලේ සහ කොළඹ වරායේ, කාර්යයන් ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව අනුගත වීම හේතුවෙන්,මගීන්ට, කාර්ය මණ්ඩලයට සහ ගුවන් කාර්යය මණ්ඩලයට ප්‍රතිලාභ සැලසෙන අතර, එය බාධාවකින් තොරව, ආරක්ෂිත ප්‍රත්‍යන්ත පාලන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මහජන විශ්වාසය දිනා ගැනීමට ඉවහල් වනු ඇති බවත් ඔහු පැවසීය.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම [Airport & Aviation Services Sri Lanka Limited (AASL)], ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යාංශ සමඟ සමීප සම්බන්ධීකරණයෙන් සංක්‍රමණය සදහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ප්‍රධානී සරත් දාස් මහතා, පිවිසුම් තොටුපළවල් ශක්තිමත් කිරීම අනාගතය සඳහා ආයෝජනයක් බව තම සංවිධානය තරයේ විශ්වාස කරන බව ප්‍රකාශ කළේය.

තව දුරටත් අදහස් දක්වමින් ව්‍යාපෘතියේ අවධානය භෞතික යටිතල පහසු කම් වලින් ඔබ්බට විහිද ආර්ථිකය, ආරක්ෂාව සහ ඩිජිටල්කරණය යන අංශවල ප්‍රවර්ධනයට වැදගත්වනු ඇති බව අවධාරණය කළේය. ජාතික වැදගත්කමකින් යුත් මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීමට ලැබීම IOM සංවිධානය වරප්‍රසාදයක් ලෙස සළකන බවත් එය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් විසින් ලබා දෙන සහයෝගයට තමන් කෘතඥ වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

තවද, ප්‍රධාන පිවිසුම් තොටුපළ වල කාර්යක්ෂම සහ ආරක්ෂිත මෙහෙයුම් සඳහා උපකාරී වෙමින් පොරොත්තු කාලයන් හා තදබදය අවම කරමින්, එමගින් සංචාරක විශ්වාසය තව දුරටත් වැඩි දියුණු කර, සංචාරක සහ ව්‍යාපාරික සංචාරවල ප්‍රබෝධයක් ඇති කිරීමේ හැකියාව ඇති කිරීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව ලැබෙනු ඇත.

පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

Published

on

By

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර, එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුය.

මේ අතර, ණය යෝජනා ක්‍රමය යටතේ තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියන 1 නොඉක්මවිය යුතුය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබුණි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රජය 2025 අයවැය යටතේ රුපියල් බිලියන 15ක් වෙන් කර ඇත.

මෙම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද සිට ළඟම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ජාතික හැඳුනුම්පත (NIC) සහ IRD විසින් නිකුත් කරන ලද TIN ඇතුළු අනෙකුත් අවශ්‍ය ලියකියවිලි සමඟ මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතුවක් විවෘත කරන ලෙසට රජය ආරාධනා කර සිටී.

Continue Reading

පුවත්

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

Published

on

By

මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ දී වූ මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වී තිබේ.

මේ වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 164ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මේ වසරේ ගතවූ කාලය තුළ දී මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

වාහන ආනයනය සඳහා මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 118ක් වියදම් වී ඇති අතර ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 312ක් වාහන ආනයනය සඳහා වියදම් වී ඇති බව සඳහන්ය.

මේ වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් වන අතර එය අප්‍රේල් මාසයේ පැවති මට්ටමට බොහෝ දුරට සමාන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ අතර අප්‍රේල් මාසයේ උත්සව සමයේ මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්ත්වයට පත්ව තිබේ.

ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මඟින් පිළිඹිබු වන පරිදි ශ්‍රී ලංකා ගැනුම්කරුවන්ගේ දර්ශකය මැයි මාසයේ දී දර්ශකාංක 59.7ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මැයි මාසය තුළ දී විශේෂයෙන් මාර්ග සංවර්ධන කටයුතුවල නව ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

Continue Reading

පුවත්

බස් රියදුරන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි

Published

on

By

බස් රථ රියදුරන් ආසන පටි පැළදීමේ නීතිය අද (01) සිට අනිවාර්ය බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදන වලට අනුව බස් රථ රියදුරන් ආසන පටි පැළදීම අනිවාර්ය වේ.

පසුගිය කාලය පුරා රියදුරන් එම නීති අනුගමනය නොකිරීම හේතුවෙන් සිදුවූ අනතුරු සීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා විය.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට යළි ක්‍රියාත්මක කෙරෙන අතර එය අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම ද අද (01) සිය යළි ආරම්භ කෙරෙන බව පොලීසිය පවසයි.

පසුගිය වසරේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂාවක දී හඳුනාගෙන ඇත්තේ රථවාහන 8,788ක් ධාවනයට නුසුදුසු බවය.

මෙම තත්ත්වය මෙන්ම රථවාහන වල අමතර කොටස් සවිකිරීම ද අනතුරුවලට ප්‍රධාන හේතුවක් බවට හඳුනාගෙන තිබේ.

විවිධ අවස්ථාවලදී චක්‍රලේඛ මගින් ලබාදී ඇති අවසර මත බස් සහ ත්‍රි රෝද රථවල අමතර අලංකරණ කොටස් සවි කළද ඒවා සිදුකළ යුතු වන්නේ නිර්ණායක වලට යටත්වය.

අද  (01) සිට යළි ක්‍රියාත්මක කෙරෙන මෙම අනාරක්ෂිත කොටස් ඉවත් කිරීමේ තීරණය සමග එකඟ වන බව බස් සහ ත්‍රි රෝද රථ සංගම් පවසයි..

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved