වාහන ආනයනයට අදාළව මේ දක්වා ණයවර ලිපි විවෘත කර ඇත්තේ එක්සත් ජනපද ඩොලර් මිලියන 200 ක පමණ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මේ වසරේ දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා පෙරේදා (25) රැස්වූ අතර එහිදී ගත් තීරණ දැනුම්දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේදී ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.
වාහන ආනයනය සඳහා මේ වසර තුළ ඩොලර් බිලියනයක් පමණ පහසුවෙන් කළමනාකරණය කිරීමට හැකි වෙතැයි මහ බැංකුව අපේක්ෂා කළ බවද ඔහු පැවැසීය.
කෙසේ නමුත්,තවත් මාස නවයක පමණ කාලයක් පවතින බැවින් වාහන ආනයනය සඳහා එම මුදල වැයවනු ඇතැයිද ඔහු කියා සිටියේය.
උද්ධමනය ඝෘණ අගයක පැවැතීම තාවකාලික තත්වයක් බවත්, මෙය ඉල්ලුම මත ඇතිවන අවධමන තත්වයක් නොවන බවත්,විදුලි බිල අඛණ්ඩව අඩුවීම නිසා ඇතිවන තත්වයක් බවද ඔහු කියා සිටියේය.
මේ වසරේ තුන්වැනි කාර්තුවේදී ක්‍රමානුකූලව අවධමන තත්වය පහවී ඉලක්කය කරා යාමට හැකිවනු ඇතැයිද ඔහු පැවැසීය.