මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (04) උදෑසන භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබේ.
ඔහුව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබුණි.
වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මෙලෙස අධිකරණයට බාරවිය.
සැකකාර වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර හෙට (05) දිනයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද නියෝග කර තිබේ.
(පෙර පුවත: 2025 මාර්තු 04, ප.ව.1:53)
වැලිගම වැඩබලන පොලිස් ස්ථානාධිපති අධිකරණයට භාර වෙයි (Update)
වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබේ.
අද (04) උදෑසන ඔහු මෙලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇති බව වාර්තා වේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ සිදුවීමට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබුණි.
(පෙර පුවත 2025 මාර්තු 04පෙ.ව.08.34)
වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට වරෙන්තු
වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරීපත් කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා වරෙන්තු නිකුත් කර තිබේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම වරෙන්තුව නිකුත් කලේය.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වරෙන්තු පිටපතද රැගෙන සැකකාර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලීසියට හා නිල නිවසට ගොස් තිබු අතර ඒ වන විටත් ඔහු එම ස්ථානවලින් පිටව ගොස් තිබුණි.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නැයි පසුගිය සිකුරාදා වරෙන්තු නිකුත් කෙරුණි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණය පසුගිය සිකුරාදා නියෝග කලේය.
සබැඳි පුවත්