පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාධාරණ නියෝජනයක් ලබා දෙන තෙක් එහි නියෝජනය සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරිපත් නොකිරීමට තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.
සාමාජිකයන් 31 දෙනෙකුගෙන් සංයුක්ත වන පොදු ව්‍යාපාර කාරක සභාවේ විපක්ෂයට සාමාජිකයන් 12ක නියෝජනයක් ඉල්ලා සිටියත් එය 07 දෙනෙකුට සීමා කිරීම නිසා මෙම තීරණයට එළඹ ඇත.
කෝප් කමිටුවේ සභාපති ධූරයද ආණ්ඩු පක්ෂය විසින් ලබාගෙන ඇති හෙයින් ඊටද විපක්ෂයේ විරෝධය එල්ල වී තිබේ. එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බව විපක්ෂය පවසයි.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත සමරවීර මහතා පසුගිය (09) පත්කරන ලදී.
මේ අතර කෝප් කමිටුවේ ප්‍රථම හමුවට සහභාගී වී ඇත්තේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු පමණක් බවද සඳහන්ය.
කෝප් කමිටුවේ සභාපති ධූරය ආණ්ඩු පක්ෂය විසින් ලබාගැනීම පිළිබඳව මීට ඉහතදී ආණ්ඩුව විසින් සිය මතය ප්‍රකාශ කරන ලදී.
වත්මන් රජයට විමර්ශනය කිරීමට සිදුව ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව වන හෙයින් ඊට සම්බන්ධ පක්ෂ හා කණ්ඩායම්වල නියෝජිතයින් වෙත සභාපති ධූරය ලබාදීම ගැටළු සහගත බවට ආණ්ඩුව පවසා තිබුණි.