ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබේ.
ප්‍රංශයේ පැරිස් නුවර සිට ගුවන් යානය අද (04) උදෑසන දිවයිනට ළඟා වුණි.
ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමග එකතුවන මෙම ගුවන් යානය පළමු වරට මෙරට ගුවන්යානා ලෝලීන්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙමින් අද උදෑසන කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරන ලදී. එහිදී අඩි 1,500ක පමණ උසකින්, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා පියාසර කරනු දැකගත හැකිවිය.
එය දැකගැනීමට බොහෝ පිරිසක් ගාලුමුවදොරට එක්ව සිටියහ.
(පෙර පුවත 2025 ජූනි 04 පෙ.ව.7.12 )
ශ්‍රීලන්කන් ගුවන් යනා ඇණියට අද එයාර්බස් A330-200ක් යානයක් එක් වෙයි
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අලුතින් එකතු වන එයාර්බස් A330-200 (Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන්යානය අද (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මේ ගුවන් යානය උදෑසන 8.00 සිට 9.00 අතර කාලයේ, අඩි 1,000ක පමණ උසකින් කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයෙහි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කිරීමට ද නියමිත බව පැවසේ.
පැරිස් සිට පැමිණෙන මෙම ගුවන්යානය, මෙරට ගුවන්යානා නිරීක්ෂකයන්ට විශේෂ අවස්ථාවක් ලබා දෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරනු ලබන බව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසයි.
අනතුරුව ගුවන්යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැස්සවීමට පෙර කටුනායක ගුවන්තොටුපොළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කිරීමටත් නියමිත බවත් හෙතෙම කියා සිටියේය.
ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගුදුර හා කෙටිදුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමඟ එකතු වන මෙම ගුවන්යානය පළමු වරට පැමිණීම දැක ගැනීමට ලැබීම ගුවන්යානා ලෝලීන්ට සහ නිරීක්ෂකයන්ට ආකර්ෂණීය අවස්ථාවක් වනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.