Connect with us

පුවත්

ෂාෆ්ටර්ගේ නඩු භාණ්ඩවල ආගන්තුක DNA සාම්පලයක්!

Published

on

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදු වූ ස්ථානයේ තිබී සොයාගත් නඩු භාණ්ඩ සම්බන්ධයෙන් පැවැත්වූ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා අනුව ඔහුගේ ජෛව සාම්පලයට අමතරව තවත් ආගන්තුක ජෛව සාම්පලයක් ඇති බව රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ සඳහන් කළේය.

මරණකරු භාවිත කළ වතුර බෝතලය, ඔහුගේ ගෙල සිර කර තිබූ කේබල් වයරය හා දෙඅත් බැඳ තිබූ බව කියන සිප් ටයි පටියේ මෙසේ අනෙක් ආගන්තුක ජෛව සාම්පලය ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දුන්නේය.

කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරින් සතුව ඇති මරණකරුගේ ශරීර කොටස් සාම්පල් අධිකරණය දැනුම් දෙනතුරු සුරක්ෂිතව තබා ගන්නා ලෙසත් එය විනාශ නොකරන ලෙසත් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට හා රජයේ රස පරීක්ෂකවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කළාය.

මරණය වූ ස්ථානයට ගිය පුද්ගලයන් හා සැකකරුවන් සිටී නම් ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත ඔවුන් කැඳවන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා විසින් නියෝගයක් සිදු කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත පැවසීය.

අදාළ ඉල්ලීම අනුව ෂාෆ්ටර් මහතාගේ ඝාතනය වූ දින එම ස්ථානයේ ගැවසුණු බොරැල්ල කනත්තේ සේවකයන් දෙදෙනා, මරදාන පොලිසියේ සොකෝ නිලධාරින් ඇතුළු සිව්දෙනකුට ලබන 23 වැනි දින ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත වාර්තා කරන ලෙස අධිකරණය නියෝග කළේය.

මරණකරු රෝහල්ගතව සිටියදී ප්‍රතිකාර ලැබූ ඇඳ ඉහපතේ අංකය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් නොවන බැවින් 2022/12/15 පස්වරු 3.30ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මරණකරුගේ ඇඳ ඉහපත් වාර්තාව හා ස්කෑන් පරීක්ෂණ දෙකට අදාළ ලේඛන ලබා දෙන ලෙසට ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෙත නියෝගයක් ලබා දෙන මෙන් මරණකරුගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තවද මරණ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේදී ලබා ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශන ඇත්නම් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන මෙන් අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෘතදේහය සම්බන්ධයෙන් ක්‍රියා කළ වෛද්‍ය නලින් යන අයගේ වාර්තා හා බොරැල්ල පොලිසියේ සොකෝ නිලධාරින්ගේ ඡායාරූප පිටපත් කරන ලද සී.ඩී. තැටියක් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි නීතිඥවරයා රජයේ රස පරීක්ෂක භාරයේ ඇති යම් යම් ශරීර කොටස් සුරක්ෂිතව පවත්වාගෙන යන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

2022/12/15 දින කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ ඇද ඉහපතක් යටතේ ප්‍රතිකාර ලැබූ මරණකරුට සිදු කළ මූලික පරීක්ෂණවලට අදාළ සියලු වාර්තා වහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත මහේස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කළාය. එමෙන්ම මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන අවස්ථාවේ, ඉන් පෙර හා පසු ලබාගත් ඡායාරූප අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග නිකුත් කෙරිණි.

තවද බොරැල්ල සොකෝ නිලධාරින් විසින් මරණය සම්බන්ධයෙන් ලබාගත් ඡායාරූප සහ යම් හෙයකින් වීඩියෝගත කර ඇත්නම් එම වීඩියෝ දර්ශනද වහා අධිකරණය වෙත භාර දෙන ලෙසට බොරැල්ල පොලිසියේ සොකෝ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත නියෝග නිකුත් කෙරිණි.

ඒ අනුව ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයේ ගැටලුසහගත බව හා මරණකරුගේ ජෛව සාම්පල් වෙත ආගන්තුක ජෛව සාම්පලයක් ඇති බවට කරුණු අනාවරණය වන බැවින් අදම මේ නියෝග ක්‍රියාත්මක කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළාය.

(දිණමිණ)

පුවත්

යළිත් ලොකු වැස්සක්

Published

on

By

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

පුවත්

ට්‍රම්ප් චීනයේ සංචාරයකට

Published

on

By

චීන ජනපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ෂී ජින්පින් සමග පැවති දුරකථන සංවාදයකින් අනතුරුව ට්‍රම්ප් ඒ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙම දුරකථන සංවාදය “ඉතා හොඳ සාකච්ඡාවක්“ ලෙස ධවල මන්දිරය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණි.

දෙරට අතර තීරුබදු ගැටලුව හමුවේ පසුගිය පෙබරවාරි මාසයේදී නායකයින් දෙදෙනා සාකච්ඡා කිරීමෙන් පසු දුරකථන සංවාදයක් සිදුවූ පළමු අවස්ථාව මෙයයි.

ධවල මන්දිරයේ ඉල්ලීමකට අනුව අදාළ දුරකථන ඇමතුම සිදු වූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති අතර පැය එකහමාරක පමණ කාලයක් සංවාදය පැවති අතර එහිදී ප්‍රධාන වශයෙන් වෙළඳාම කෙරෙහි අවධානය යොමු කර ඇත.

ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ද ෂී ජින් පින්ට අමෙරිකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ බවයි.

කෙසේ නමුත් විදෙස් විචාරකයන් පවසන්නේ අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ ගැටුම් පවතින පසුබිමක මෙම සාකච්ඡා සිදුවීමත් විශේෂත්වයක් බවයි.

Continue Reading

පුවත්

චමල් රාජපක්ෂ අත්අඩංගුවට!

Published

on

By

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ 2022 වසරේ මැයි මස 9 වැනිදා අරගලයේදී තිස්සමහාරාමයේ මාගම පිහිටි තම නිවෙස ඇතුළු දේපළට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ බව පැවසේ.

මේ සම්බන්ධ විමර්ශන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන බවද පැවසේ.

තිස්සමහාරාමයේ මාගම පිහිටි එම දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බවත්, එය වෙනත් අයකු නමින් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇති අතර, එහි කිසිදු නිවෙසක් නොතිබූ බවත් එහි වී ගබඩාවක් පමණක් තිබී ඇති බවත් හෙළිව ඇත.

අදාළ දේපළ තමන් භුක්තිවිඳින බවට චමල් රාජපක්ෂ දිවුරුම් පෙත්සමක් දී ඇති අතර, පසුව කළ විමර්ශනයේදී එහි වී ගබඩාවක් පමණක් තිබුණු බව අනාවරණය වී ඇත.

අදාළ දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බව හෙළි වීමෙන් පසු, 2023.7.27 දිනැතිව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝක මහතාගේ අත්සනින් යුතුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු අංශ) ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මහතා විසින් අදාළ ගෙවීම් තම විෂයපථය යටතේ කළ නොහැකි බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් 2023.07.20 දිනැතිව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවකු විසින් එහි නිවෙසක් තිබී ඇති බවත් එහි වටිනාකම රුපියල් 1,48,00,000ක් බවත් දැක්වෙන තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව වී ගබඩාවේ හානිය වන රු. 222,600ක් හා නොතිබූ නිවෙසක් වෙනුවෙන් රු. 1,48,00,000ක් වශයෙන් රු. එක්කෝටි පනස්ලක්ෂ විසිදෙදහස් හයසීයක මුදලක් රජයෙන් ලබාගෙන ඇත.

මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීතියට හා චක්‍රලේඛයන්ට පටහැණිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පැවසේ.

මූලාශ්‍රය – සිළුමිණ

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved