සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ හදිසි මරණය, නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යාංශය විසින් මේ බව සඳහන් කර තිබේ.
අදාළ නිවේදනය
(පෙර පුවත 2025 මැයි 01 ප.ව.1.27 )
සබරගමුවේ ශිෂ්‍යයෙක් සියදිවි නසා ගත්තේ රැග් එක නිසාද?
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙකු සියදිවි නසා ගැනීමේ ඛේදනීය සිද්ධියක් පිළිබඳව වාර්තා වේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ 2021/2022 කණ්ඩායමට අයත් දෙවැනි වසරේ අධ්‍යාපනය හැදෑරු චරිත් දිල්ශාන් නම් 23 හැවිරිදි සිසුවෙකි.
පසුගිය අප්‍රේල් 27 වැනි දින විශ්වවිද්‍යාලයේ පැවැති අවුරුදු උත්සවයකින් පසුව ඊට පසුදින එනම් 28 වැනි දින ඔහු ගම්පොල ඉහළගම පිහිටි සිය නිවස වෙත පැමිණ තිබුණි.
එලෙස පැමිණි ඔහු අප්‍රේල් 29 වැනිදා සවස සිය නිවස පසුපස ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල විවිධාකාරයේ අර්ථකථනයන් සංසරණය වන පසුබිමක, බොහෝ පිරිස් ඇතැම් කෙටි පණිවිඩ ආදිය මුහුණුපොතට එක් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම ශිෂ්‍යයාට නේවාසිකාගාරයේ දී සිදුවූ නවකවද සිදුවීමක් පාදක කරගනිමින්, ඔහුට ඇති වූ දැඩි මානසික කම්පනය මත තම නිවසේ දී ඔහු මෙලෙස සියදිවි නසා ගෙන ඇති බවයි.
පොලීසිය සඳහන් කරන්නේ මෙතෙක් ලැබී ඇති තොරතුරු අනුව මෙම සිදුවීම නවකවදය හේතුවූවෙන් සිදූවූවක්ද නැතිනම් සියදිවි නසාගැනීමක්ද යන්න සෙවීමට පුළුල් විමර්ශන කරන බවයි.