Connect with us

පුවත්

සමස්ත ශ්‍රම බලකායෙන් බදු දැලට හසුවන්නේ ලක්ෂ 8ක් පමණයි

Published

on

 මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් පසුගියදා ප්‍රශ්න කරන ලදී.
නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් ප්‍රකාශ කළේ පවතින ක්‍රමවේදය අනුව ආසන්න වශයෙන් ලක්ෂ 80ක පිරිසකගෙන් ලක්ෂ 8ක් පමණක් බදු සීමාව සපුරාලන බවයි.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු 18 වන දින පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.

මෙම පනත් කෙටුම්පත යටතේ පුද්ගල ආදායම් බදු (PIT) සහනය වාර්ෂිකව රු. 1,200,000 සිට රු. 1,800,000 දක්වා වැඩි කිරීමේ යෝජනාව කමිටුවේ අවධානයට ලක්විය. එසේම ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මගින් මෙන්ම දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන සඳහා ලාභ සහ ඉපයීම් මත ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කිරීම, සේවා අපනයනය 15% අනුපාතයකින් ආදායම් බද්දට යටත් කිරීම සහ පොලී ආදායම හෝ වට්ටම මත රඳවා ගැනීමේ බදු (WHT) අනුපාතය 5% සිට 10% දක්වා වැඩි කිරීමට ද මෙම සංශෝධනය මගින් යෝජනා ඉදිරිපත් කර ඇත.

උපයන විට ගෙවීමේ බදුවලට අදාළ (PAYE) දත්ත විශ්ලේෂණය සලකා බැලූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පවතින දත්තවල දෝෂයක් ඇති බව නිගමනය කළේය. ඒ අනුව, කාරක සභාවට නිවැරදි දත්ත විශ්ලේෂණයක් ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

තවද, බදු ගෙවීම, ආනයනය, අපනයනය කිරීම හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඕනෑම සේවාවක් ලබා ගැනීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගැනීම ක්‍රියාත්මක නොවන බව මෙහිදී අනාවරණය විය. මෙම ක්‍රියාවලිය නිවැරදි ලෙස සිදු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවට වාර්තා කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදීම සිදුවිය.

ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මගින් මෙන්ම දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන සඳහා ලාභ සහ ඉපයීම් මත ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කිරීමේ යෝජනාව සලකා බැලූ කාරක සභාව, කැසිනෝ නියාමකයෙකු ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළේය.

පසුගිය වසර 5 තුළ කැසිනෝ හරහා ලැබුණු ආදායම පිළිබඳව කමිටුව විසින් මීට පෙර ඉල්ලා සිටි නිසි දත්ත ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම පිළිබඳව ද කාරක සභා සභාපතිවරයා විසින් සිය අප්‍රසාදය පළ කරන ලදී.

බදු අභියාචනය සඳහා ගෙවීමට නියමවූ බදුමුදලෙන් 25% ක් ගෙවීමට සිදුවීම පිළිබඳව ද කාරක සභාව විසින් පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදී.

අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී බැංකු ඇපකරයක් වෙනුවට මුදල් තැන්පතුවක් ඉල්ලා සිටීම කෙතරම් දුරට සදාචාරාත්මකද යන්න කමිටුව ප්‍රශ්න කළේය.

රජයට ලැබිය යුතු ආදායම ගෙවීමෙන් වැළකී සිටීම සඳහා ජනතාව අභියාචනා ක්‍රියාවලිය යොදා ගන්නා බවත්, එබැවින් බැංකු ඇපකරයක් වෙනුවට මුදල් තැන්පතුවක් යෝජනා කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා නඩු විශ්ලේෂණය කර අදාළ දත්ත ලබා දෙන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, විජේසිරි බස්නායක, නිමල් පලිහේන යන මහත්වරුන් ද සහභාගී වූහ.

පුවත්

මාස 7කට, වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

Published

on

By

ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වන දින සිට ඊයේ (08) දක්වා වූ කාලය තුළ සිදුව ඇති එම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 52ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 35ක් තුවාල ලබා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වෙඩිතැබීම්වලින් 62ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සිදුකර ඇති අතර, වෙඩිතැබීම් 17ක් අනෙකුත් ඒවා වේ.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 260ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 229ක් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පාතාලය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් ගෙන ඇති අතර, පසුගිය 2022, 2023 සහ 2024 යන කාලය දෙස බැලීමේ දී අපරාධවල කැපීපෙනෙන වර්ධනයක් සිදුව නොමැති බව ද පැවසු අමාත්‍යවරයා, කුමන තත්ත්වයක් තුළ ද අහිමිව යන්නේ මනුස්ස ජීවිතයක් බව ද සඳහන් කළේය.

රජය විසින් මේ සම්බන්ධයෙන් ඉහළ තීන්දු ගෙන ඇති අතර, නව රජය බලයට පත්වීමෙන් අනතුරුව වෙඩි තැබීම්වල බරපතළ වර්ධනයක් ඇතැයි පිළිගත නොහැකි බව ද පැවසීය.

“මේ පාතාලය මර්දනය කිරීම පිළිබඳව දශමයකින් හෝ අපේ ධෛර්ය අඩුවෙලා නෑ. අපි ඒ වෙනුවෙන් තීන්දු තීරණ රාශියක් අරගෙන තියෙනවා. ඒ අනුව දැක්මක් සැලසුමක් අනුව අපි මේ කටයුත්ත කරමින් ඉන්නවා. ඒක මත්ද්‍රව්‍ය සහ පාතාලය දෙකම ඒකාබද්ධව. ඒ වගේම මේ වෙඩිතැබීම් ගැන අධ්‍යයනය කරපුවහම 2022,2023,2024 කැපී පෙනෙන වර්ධනයක් දකින්න නෑ. නමුත් අපි කිසිදු වෙඩිතැබීමක් ලඝුකොට තකන්නේ නෑ. හැම මනුස්ස ජීවිතයක්ම වටිනාකමක් සහිතව සලකමින් කටයුතු කරන්නේ. ඒ නිසා පාතාල මර්දනය ගැන අපි රජයක් විදියට ගන්න පුළුවන් ඉහළම තීන්දු තීරණ අරගෙන තියෙනවා.”

Continue Reading

පුවත්

ජනාධිපති කාර්යාලයේ  අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ  දෙවන අදියර ඇරඹේ

Published

on

By

ජනාධිපති කාර්යාලයේ  සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන්  ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.

විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත්ය.

මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා  ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකිය.

එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇත.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ පළමු අදියර යටතේ
මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර,  හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වේ.

මේ පිළිබඳව නිකුත් කර ඇති දැන්වීම මේ සමඟ අමුණා ඇත.

Continue Reading

පුවත්

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය අද සිට

Published

on

By

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත Online ක්‍රමයට විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීම අද (09) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම ලබන 30වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ලියාපදිංචී වීම සිදු කිරීමට හැකියාව ඇත.

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත පිරිස 43,300ක් බවයි වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved