පුවත්

සහල් මාෆියාවේ නිර්මාතෘ “ඩඩ්ලි”

Published

on

සහල් මාෆියාවේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන බලයට පත්වන සෑම ජනාධිපතිවරයකුම බලයට පත්වූ වහාම ජනාධිපතිට සහාය දක්වමින් සහල් සාධාරණ මිලකට අලෙවි කරන බව පැවසීමත් මාෆියාවක් බව උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී.දිසානායක මහතා පවසයි.

ඔහු එහිදී කියා සිටියේ, නව ජනාධිපති පත්වූ වහාම මාධ්‍ය සංදර්ශන පවත්වමින් පාලන මිලට සහල් විකුණනවා කියමින් මෙවැනි ප්‍රකාශ කරන ප්‍රමුඛ පෙළේ සහල් ජාවාරම්කරුවන් පිළිබඳව ජනාධිපතිවරයා දැඩි අවබෝධයෙන් යුතුව කටයුතු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වන බවය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“පාලන මිලට සහල් අලෙවි කරන බව ප්‍රකාශ කරමින් ඩඩ්ලි සිරිසේන විසින් නව ජනාධිපතිවරයාද රැවටීමට උත්සාහ කරමින් සිටිනවා. මේ ඩඩ්ලි කීරි සම්බ සහල් කිලෝව විකුණන්නෙ රු. 340, 350ට. හොරෙන් විකුණනවා. රජයේ වී මිලදී ගන්න පාලන මිලක් පනවනවා. කවදාවත් ඒ පාලන මිලට වී මිලදීගන්නේ නෑ. අස්වැන්න නෙළන කාලයට ගොවියන්ගේ වී ටික තුට්ටු දෙකට ගන්නවා. ඒවා අරගෙන ගබඩාවල ගොඩ ගහගන්නවා.

ඊට පස්සේ අධික ලාභ තියාගෙන ගිනි ගණන්වලට මේ සහල් අසරණ මිනිස්සුන්ට විකුණනවා.මේක තමා එයා හැමදාම කළේ. මේවට පැවති රජයන් කළේ උදව් දීම විතරයි. ඒවට හරියන්න ඒ අයට ප්‍රති උපකාර මෙයාගෙන් ලැබුණා ඕන තරම්.මොන ආණ්ඩුව තිබ්බත් සහල් සඳහා පාලන මිලක් පනවලා තියෙනවා නම් ඒ පාලන මිලට සහල් අලෙවි කිරීම නීත්‍යානුකූලව සිදු විය යුතුයි. ඒත් දැන් පාලන මිලට හාල් දෙන්න පුළුවන්නම් ඇයි එදා ඒ හාල් පාලන මිලට දුන්නේ නැත්තේ?

දැන් කියනවා ජනාධිපතිතුමාට සහාය දැක්වීම සඳහා සහල් පාලන මිලට දෙනවා කියල. එහෙම සහල් අලෙවි කරන්න බෑ පාලන මිලක් තියෙනවා. පාලන මිලටයි විකුණන්න ඕනෑ. අස්වැන්න නෙළන කාලයට ගොවියන්ගේ වී ඇස්වැන්න තුට්ටු දෙකට මිලදී ගන්නා ඩඩ්ලි සිරිසේන ඇතුළු මහා පරිමාණ වී මෝල් හිමියන් සහල්වලින් අති විශාල ලාභයක් ලබනවා.

සෑම කන්නයකම සෑම රජයක් විසින්ම වී මිලදී ගැනීම සඳහා පාලන මිලක් නියම කළත් එම මිලට වඩා අඩු මිලකට වී ඉලදී ගන්නවා.

ගොවිතැන පිළිබඳ මනා අවබෝධයක් ඇති රජරට උපන් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ගොවිතැන පිළිබඳව කවුරුවත් අමුතුවෙන් කියල දෙන්න අවශ්‍ය නෑ. සහල් මිල පිළිබඳව ඔහු ඉතා හොඳින් දන්නවා. නමුත් අපි පැහැදිලිව කියන්නේ ඩඩ්ලිලා මේ කරන්නේ යළිත් උපක්‍රමිකව ඔවුන්ගේ අධික ලාභය ලැබීම සඳහා සැලසුම් සකස් කිරීමයි.

ඡන්ද කාලවලදී විවිධ දේශපාලන පක්ෂවලට මුදල් පොම්ප කරන මෙම වී මෝල් හිමියන් ගේ වී මෝල් වැටලීමට කවදාවත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කටයුතු කරන්නේ නෑ.

එසේම ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා මෙවර මාස් කන්නය සඳහා ගොවිතැන් කටයුතු තව සති දෙකකින් ආරම්භ වෙනවා. ගොවීන් ගොවිතැන් කටයුතු ආරම්භ කරනකොටම රජය විසින් වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය සඳහා ඉදිකර ඇති වී ගබඩා ටික ශුද්ධ පවිත්‍රකොට ඒ සඳහා පත්කර සිටින රාජ්‍ය නිලධාරීන්ට නිසි පරිදි එම කටයුතු කරගෙන යෑම සඳහා අවශ්‍ය පහසුකම් හා උපදෙස් දෙන්න කියල.”

Trending

Exit mobile version