පුවත්

සූර් වෙච්ච පොලිස් සැරයන්ට වැඩ වරදී

Published

on

පානදුර උතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු රාජකාරී කාලසීමාව තුළ බීමතින් නිදා සිටින බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය
වෙන වීඩියෝව සම්බන්ධයෙන් පොලීසිය ප්‍රතිචාර දක්වා තිබේ.

සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වන වීඩීයෝවක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අනුව එම පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

ඒ අනුව, රාජකාරී කරන අතරතුර නිලඇදුමෙන් පානදුර ප්‍රදේශයේ නිවෙසක බීමිතින් නිදා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවත් අනෙක් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයට මාරු කර යවා ඇත.

එම වීඩියෝ පටයට අනුව පොලිස් ජීප් රථයකින් පැමිණෙන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බීමතින් නිලඇදුමින් ඇදක් උඩ නිදා  සිටින එක් පොලිස් නිලධාරියකු වඩාගෙන යන ආකාරය දැකිය හැකි අතර ඔහු මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවූ නිලධාරියකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම නිලධාරීන් මුළුතැන්ගෙයක් තුළ පොලිස් නිල ඇදුමට අගෞරව වන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර එම නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

ඒ අනුව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවී ඇති පොලිස් නිලධාරියාගේ වැඩතහනම් කර ඇති අතර අනෙක් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයකට මාරුකර යවා ඇත.

Trending

Exit mobile version