Connect with us

පුවත්

“හඬ රංගේ ගේ වුනාට වුවමනාව රනිල්ගේ”

Published

on

හඬ රංගේ බණ්ඩාරගේ වුණාට ඇත්ත වුවමනාව රනිල් වික්‍රමසිංහගේ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ඔහු මෙම අදහස් දැක්වූයේ අද (29) පෙරවරුවේ ජවිපෙ කාර්යාලයේදී පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් සමඟ එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ  ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා,

“එක්සත්  ජාතික පක්ෂයේ ලේකම්, රංගේ බණ්ඩාර ඊයේ (28 දා) කරන ලද හදිසි ප්‍රකාශය පිළිබඳව අපේ ස්ථාවරය ජනතාව හමුවේ තැබීමට මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළා.  

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙනවා විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා වෙනවා. 2024 නොවැම්බර් 17 දිනයෙන් එම වසර පහක කාලය අවසන් වෙනවා. ඒ අනුව ව්‍යාවස්ථාවෙම සඳහන් වෙන්නේ ඊට මසකට පෙරාතුව ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි කියලා. දැනටමත් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කොට තිබෙනවා ලබන සැප්තැම්බර් මස 17වැනිදාත් ඔක්තෝබර් 17 වැනිදාත් අතර ජනාධිපතිවරණය පවත්වනවා කියලා. මීට පෙර 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වුණා. ව්‍යවස්ථානුකූලව ඔහුගේ ධුර කාලය වසර පහකට සීමා වෙනවා. ගෝඨාභය රාජපක්ෂ අතරමඟදී ධුරය අත්හැර ගිය නිසා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට තමයි, පාර්ලිමේන්තුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාව තෝරා පත්කර ගත්තේ. නීත්‍යානුකූලව රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයේ සිටිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ සඳහා වෙන්වුණු අවුරුදු පහ සීමාව දක්වා පමණයි. ගෝඨාභය රාජපක්ෂ ඉවත්වුණාට පස්සේ ඔහුට අවසන් කිරීමට බැරි වුණු ඉතිරි කාලය සඳහා පමණයි රනිල් වික්‍රමසිංහට අනුප්‍රාප්තික ජනාධිපති ලෙස කටයුතු කළ හැක්කේ. එදිනෙන් ඉදිරියට එක දවසක් හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එම ධුරයේ ඉන්න බැහැ. ඔහු ජනතාවගෙන් පත්නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ව්‍යවස්ථාවේ පැහැදිලිවම කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කර ගත හැක්කේ ඊට පෙරාතුව සිටි ජනාධිපතිවරයාගේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීම දක්වා පමණක් බව.

රංගේ බණ්ඩාර හදිසියේ මේ යෝජනාව ගෙනාවේ කොහොමද? මේක රංගේ බණ්ඩාර තනිවම සිතා ගෙන ආ යෝජනාවක් කියා අපි හිතන්නේ නැහැ. මෙය රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම, අවබෝධය හා උපදෙස් මත තමයි එක්සත්  ජාතික පක්ෂයේ ලේකම් මෙම ප්‍රකාශය කරනු ලැබුවේ. මේකේ තීන්දුව ගන්න කෙනා රනිල් වික්‍රමසිංහ. ඔහු දන්නවා ඉතා පැහැදිලිව දැන් ඔහුට ජනවරමක් නැහැ. ඉතිහාසයෙත් ඔහුට ජනවරමක් තිබුණේ නැහැ. ඔහුට ඡන්දයෙන් පත්වෙන්න පුළුවන්කමක් කවදාකවත් ලැබුණේ නැහැ. ඔහු හැමදාම පරාජිත අපේක්ෂකයා බවට පත්වුණා. ඒ වගේම ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් දිනන්න බැහැ කියන එක ඉතා පැහැදිලිව තේරුම් අරගෙන තිබෙනවා. රංගේ බණ්ඩාරගේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි වෙන එකක් තමයි 2024 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන් පරාදයි කියන එක. ඒනිසා තමයි මෙවැනි සෙල්ලම් දාන්න පටන් ගන්නේ. ජේ.ආර්. ජයවර්ධන එදා 1982 ලාම්පු කළගෙඩි සෙල්ලම ගෙනාවෙත් 1983 පවත්වන්න තිබුණු මහ මැතිවරණය වළක්වලා පාර්ලිමේන්තු ධුර කාලය අවුරුදු හයකට දික්කිරීම සඳහායි. ඒ ලාම්පු – කළගෙඩි සෙල්ලමේ දෙවැනි ජවනිකාව තමයි රනිල් වික්‍රමසිංහ රංගේ බණ්ඩාර හරහා මේ එළිදක්වා තිබෙන්නේ. ජනාධිපතිවරයාගේ ධුර කාලය අඩු කරනවා නම්, එය පාර්ලිමේන්තුවේ 2/3ක බලයකින් කර ගැනීමට පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015දී තේරී පත්වුණේ අවුරුදු හයකටයි. නමුත් පාර්ලිමේන්තුවේ 19 සංශෝධනය සම්මත වුණාට පසුව පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්ද අනුමැතියකින් ඔහුගේ ධුර කාලය අවුරුදු පහකට අඩු වුණා. හැබැයි ධුර කාලය දික් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ප්‍රමාණවත් නැහැ. ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා පාර්ලිමේන්තුවේ 2/3ක යෝජනා සම්මතයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියලා. ඒක තමයි ව්‍යවස්ථාව, එක තමයි නීතිය. රනිල් වික්‍රමසිංහ මේ උපදෙස් දෙන්නේ මේ ව්‍යවස්ථාව ගැන දන්නේ නැතිවද? මේ දෙන්නාම ඉතා පැහැදිලිවම ව්‍යවස්ථාව ගැන දැනුවත්වම තමයි මේ ප්‍රකාශය කරන්නේ.  

 මේ කරන්නේ මුට්ටිය දමා බැලීමක්. මේ සමාජයේ මත දැක්වීම කොහොමද කියා බැලීමක්. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු  රනිල් වික්‍රමසිංහ, ඉදිරි ජනාධිපතිවරණයේදිත් පරාජය වෙන බව දැනගත් නිසාම තමයි මෙවැනි ප්‍රකාශයක් කරන්නේ. ජනමත විචාරණයක් පවත්වන්න ඕනි කියන එක දැන දැනම කරපු ප්‍රකාශයක්. රටේ ජනතාවත් විදේශයන්හි සිටින අපේ ජනතාවත් පෙළගැසී ඉන්නවා, ජන මතයක් නැති රනිල් වික්‍රමසිංහ ගෙදර යවලා නව ජනාධිපතිවරයෙක්,  නව ආණ්ඩුවක්, නව ප්‍රතිපත්තියක් ක්‍රියාවට නඟන්න. ඔවුන්ගේ පැත්තෙන් මේ උත්සාහ කරන්නේ මේ ඇතිවෙන ජන පෙළගැස්ම, ජන මතය අවුල් කරන්නයි. මීට පෙරාතුව ඔබ දැක්කා මහ මැතිවරණයක් ගැන කතාවක් ඇති කළා. මැයි 15දා පාර්ලිමේන්තුව විසුරුවනවා යනුවෙන් මතයක් හැදුවා. ඉන්පසුව ලබන මාසෙ 15දා විසුරුවනවා කිවුවා. පාර්ලිමේන්තුව විසුරුවනවා කියන කොටම ජනතාවගේ අරමුණ අවුල් වෙනවා. අරමුණම තිබෙන්නේ මේ ජනමතය අවුල් කරන්න. මෙය කරන්නේ හිතාමතා. ජනාධිපති ධුර කාලය වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයකින් සහ ජනමත විමසීමකින් තොරව කරන්න බැහැ කියන එක එක්සත් ජාතික පක්ෂයේ නායකයන් හොඳින්ම දන්නවා.

එක්සත් ජාතික පක්ෂයේ කවුද, මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ස්ථිර කරන්නේ. පොදු ජන පෙරමුණ කියනවා මේක කියන මිනිහාත් මෝඩයෙක් කියලා. රංගේ බණ්ඩාර මෝඩයෙක් කියන එක කාරියවසම් කියනවා. ඒ ගොල්ලන් විරුද්ධ බව පැහැදිලිව ප්‍රකාශ කොට තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයත් විරුද්ධ බව කියා තිබෙනවා. සමගි ජන බලවේගයත් විරුද්ධ බව කියනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නෙත් එක මන්ත්‍රීවරයායි. ගාල්ලෙ මන්ත්‍රීවරයා මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවම ස්ථිර කරන්නවත් පුද්ගලයෙක් නැහැ. රනිල්ගේ වුවමනාවට වජිර අබේවර්ධනට හැකියි මෙය යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. නමුත් ස්ථිර කර ගන්න කෙනෙක් පාර්ලිමේන්තුවේ නැහැ. සියලුම පක්ෂ කියා තිබෙනවා මෙයට විරුද්ධ බවත් අනුමත කළ නොහැකි බවත්. මේ රටේ මැතිවරණ සිතියම අකුළපු ජේ.ආර්.ගෙන් ආ ලාම්පු-කළගෙඩි සෙල්ලම තමයි මේ. මේ රටේ ජනතාවත් මේකට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළත් මේකට ඉඩක් ලැබෙන්නෙත් නැහැ. මේක සාහසික උත්සාහයක් හා ප්‍රකාශයක්. මෙවැනි දේවල්වලින් ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය වළක්වන්න කිසිවෙකුට හැකියාවක් නැහැ. ජනමත විචාරණ කතා දමා ජනාධිපතිවරණය සඳහා ජනතාවගේ පෙළගැස්ම ආපසු හරවන්න බැහැ.

මේ හඬ රංගේ බණ්ඩාරගේ වුණාට ඇත්ත වුවමනාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහටයි. රංගේ බණ්ඩාරට මීට කලිනුත් රනිල් වික්‍රමසිංහ කියා තිබුණා මේ යෝජනාව ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවටත් ටොපියක් දාලා බලනවා. පාර්ලිමේන්තු කාලය අවුරුදු දෙකකට දික්කර ගත්තොත් මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් එක ගන්න පුළුවන්. රංගේ බණ්ඩාරලා හිතනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අල්ලස් දීලා ඒගොල්ලන්ගේ අත උස්සගෙන ජනාධිපති පුටුවේ තව අවරුදු දෙකක් ඉනන පුළුවන් කියලා. පරාද වුණු රංගේ බණ්ඩාරලා, රුවන් විජේවර්ධනලා, අකිල විරාජ්ලා, එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙළේ සාමාජිකයෝ පරාජිත අපේක්ෂකයෝ. ඒ අය ජනාධිපති උපදේශක තනතුරු අරගෙන, වාහන, දීමනා අරගෙන වරප්‍රසාද භුක්ති විඳිනවා. ඒ වරප්‍රසාද නැතිවෙනවා කියා බයවෙලා කළබල වෙලා ඉන්නේ. මේ ජනාධිපති ධුරය දික්කරගෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් දීලා අල්ලස් දීලා අත උස්සගෙන මේ හදන්නේ තමන්ගේ උපදේශක පට්ටම් ටික තව අවුරුදු දෙකක් දික්කර ගන්න. මේ රටේ ජනතාව ඒකට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ.

මේ ප්‍රකාශ හරහා ජන මනස අවුල් කරන්න හදනවා නම් ඒකට කිසිසේත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජනතාව මේ යෝජනාව අනිවාර්යයෙන් පරාජය කරනවා. ජාතික ජන බලවේගයේ අපි ජනතාවට කියනවා, මෙවැනි ජන මනස අවුල් කරන ප්‍රකාශවලට අහුවෙන්න එපා. එසැණින්ම එය ප්‍රතික්ෂේප කර දමන්න. ඔවුන්ගේ වුවමනාව ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් ජන පෙළගැස්ම අවුල් කරන්න, බොඳ කරන්නයි. ඔවුන්ට අවශ්‍ය මේක අවුරුදු දෙකකට දික්කර ගන්න නම්, රනිල්ට තිබෙන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජනතාවගේ ජනමතය රනිල්ට තිබෙනවා කියා ඔප්පු කර ගන්න. ඒකට වෙනම ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැහැ. එහෙම ජනමතයක් රනිල්ට නැහැ. රංගේ බණ්ඩාර කියන්නේ ජනාධිපතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් තියන්න මහජන මුදල් වියදම් වෙන බව. ජනමත විචාරණයක් තිබ්බත් ජනතා මුදල් තමයි වියදම් වෙන්නේ. රනිල්ට අවස්ථාවක් තව ලබා දෙන්න කියනවා නම්, ජනතාව ඉදිරියට ඇවිත් ජනාධිපතිවරණය මුහුණ දීලා ඒ අවස්ථාව ලබා ගන්න. අපට විශ්වාසයි මේ ජනතා ද්‍රෝහී රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවට ජනතාව ජනමතය දෙන්නේ නැහැ. ආණ්ඩුව පරද්දන්න සූදානමින් ජනතාව පෙළ ගැසී ඉන්නේ. මේ ජනතාවත් එක්ක විහිළු කරන, ව්‍යවස්ථාව විහිළුවට ගන්න අවස්ථාවක් නොවෙයි. මේ ජනතාව ඉන්නේ මේ රටේ ආර්ථිකයේ, දේශපාලනයේ මුළුමනින්ම වෙනස් කිරීමේ ගැඹුරු වුවමනාවකයි. ජනතාව තුළ මත හදලා මේක බොඳ කරන්න දෙන්න බැහැ. අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු වෙනවා. ජනතාවට කියනවා එවැනි විකාර කතාවලට රැවටෙන්නත් එපා. මේවා ගණන් ගන්නත් එපා. ජනතාව ඉන්නේ මේ ජනාධිපතිවරයා ගෙදර යවන්න. ඒ සඳහා සූදානම් වෙන්න කියා ජනතාවගෙන් ඉල්ලනවා.

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading

පුවත්

කටුනායක වෙඩි තැබීමක්

Published

on

By

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අද (22) උදෑසන 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසීය.

Continue Reading

පුවත්

“සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්ය.

අදාල නිවේදනය,

“ක්ලීන් ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කරමු! –  “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්, එසේම කැළිකසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.

රට තුළ සාමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

කැළිකසළවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ යහ පුරුද්ද සමාජගත කිරීමද මෙම වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති කරුණකි.

පසුගිය දා ආරම්භ වූ සිරි දළදා දැක්මට සමගාමීව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය – 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved