කුරුඳුවත්ත එන්.සී.සී. ක්‍රීඩාංගණයේ ‘ෆැමිලි ෆන් ඩේ’ නමින් හේලීස් සමාගමේ සාදයක් අතරතුර විධායක නිලධාරිනියකගේ පිටුපස ප්‍රදේශය මිරිකා ලිංගික අතවර සිදුකරන ලදැයි එහි සේවකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට ඊයේ (03) දන්වා සිටියේය.
අදාළ ආයතනයේ විධායක නිලධාරිනියක් ලෙස කටයුතු කරන වේයන්ගොඩ පදිංචි ඉෂාරි සෞම්‍යා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම ආයතනයේම ශාඛාවක වැඩ පරීක්ෂකවරයකු ලෙස සේවය කරන චානක මධුසංඛ නමැති සැකකරු එලෙස අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසියේ සැරයන් සමන් රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත දන්වා සිටියේය.
පැමිණිලිකාරිය විධායක නිලධාරිනියක ලෙස සේවය කරන හේලීස් සමාගම විසින් පැවැත්වූ එම සාදය දවස පුරා එන්.සී.සී. ක්‍රීඩාංගණයේ ඉකුත්දා තිබී ඇති බවත්, එම සාදය අවසානයේ රාත්‍රී 9 ට පමණ පැවැති සංගීත සංදර්ශනය අතරතුරදී සැකකරු විසින් අදාළ ලිංගික අතවරය සිදුකර තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
විධායක නිලධාරිනියට සිදුවූ එම ලිංගික අතවරය සම්බන්ධයෙන් අදාළ ආයතනයේ මානව සම්පත් කළමනාකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සැකකරු සිදුකර ඇති වරද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 345 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.
සැකකරු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල ලබන ජුනි 10 වැනිදා යළි කැඳවන ලෙස නියම කළේය.
මේ අතර, පසුගිය මාර්තු 21 වැනිදා, United Human Rights Organization විසින් ඩීනස් පාරේ පිහිටි හේලීස් හි ප්‍රධාන ශාඛාව ඉදිරි පිටද කාන්තාවන්ට අතවර නොකරන්නැයි ඉල්ලමින් විරෝධතාවක් පවත්වන ලදී.
ඒ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයෙකු වන හේලීස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් ඉෂාම් ජමල්දීන් මහතා (හාඩි) විසින් කළ පහරදීමකින් අනිකා විලියම්සන් නමැති තරුණියක රෝහල්ගත කර ප්‍රතිකාර ලැබීමට සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය දක්වමිනි.
සබැඳි පුවත් :
අනිකාට පහරදුන්නැයි මුසම්මිල්ගේ පුතා හාඩි පොලිසිය සොයයි!