ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) විවෘත කිරීමට නියමිතයි.
අද (21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිතය.
කතානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කතානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදුකරනු ඇත.
මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත 10 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට නියමිත අතර ජයමංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලී මෙවර නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කළේය.
ඒ අනුව පෙරවරු 11.00 පමණ වන විට සියලු ආරාධිතයින් අසුන් ගැනීමට නියමිත අතර පෙරවරු 11.10ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසල දී කතානායකවරයා පිළිගැනිමට නියමිතව තිබේ.
අනතුරුව අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සිදුවන අතර ජනාධිපතිවරයාගේ පැමිණීම සිදුවන්නේ අනතුරුවයි.
පෙරවරු 11.20ට කතානායකවරයා හා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙල අසල දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට නියමිතය.