පුවත්

17දා දක්වා විදුලි කපන්න අනුමැතිය නෑ – PUCSL

Published

on

අ.පෙ.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 331,000 කට අධික පිරිසකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පෙබරවාරි 17දා දක්වා කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබා නොදෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ එම කාලසීමාව තුළදී විදුලි කප්පාදුවක් සිදුවන්නේ නම් එය අනවසර සහ නීතිවිරෝධී ලෙසට සලකන බවයි.

මේ අතර විදුලි උත්පාදනය සඳහා බලාගාර ආශ්‍රිත ජලාශවලින් තවදුරටත් අමතර ජලය මුදාහැරීමට නොහැකි බව මහවැලි අධිකාරිය අද නිවේදනය කර තිබුණු අතර, ඒ අනුව අද සිට යලිත් පැය දෙකයි මිනිත්තු 20ක දෛනික විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා තිබුණි.

මේ අතර, අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

Trending

Exit mobile version