Connect with us

පුවත්

19 වසරක් පමාවූ පාරිභෝගික අධිකාරිය පනත සංශෝධනට උපදෙස්

Published

on

වසර 19ක් පමා වී ඇති 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම කඩිනමින් අවසන් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාරිභෝගික සේවා අධිකාරියට පසුගියදා දැනුම් දෙනලදී.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 2021 සහ 2022 මුදල් වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පරීක්ෂා කිරීම සදහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රේගුව හා සම්බන්ධ වෙමින් මහාපරිමාණ තොග ව්‍යාපාර වැටලීම් සිදු කිරීම සදහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමු වූ අවස්ථාවේදී වෙළඳ අමාත්‍යාංශ ලේකම්වරයා පවසා සිටියේ වත්මන් පනත අනුව වැටලීම් කිරීම සදහා බලය ඇත්තේ සිල්ලර වෙළදාම සම්බන්ධයෙන් පමණක් බවත් තොග හෝ නිෂ්පාදකයාගේ ගබඩා පරීක්ෂා කර නෛතික පියවර ගැනීමට බලයක් නැති බවයි. මේ අනුව අදාළ අංශ ආවරණය වන ලෙස පනත සංශෝධනය කිරීම සිදුවන බවත් මේ වන විට එය අවසන් අදියරේ පවතින බවත් ඒ මහතා පැවසීය.

මෙහිදී කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේ 2004 වසරේ ආරම්භ කළ පනත සංශෝධනය කිරීම වසර 19ක් පමා වී ඇති බැවින් මෙම කටයුතු කඩිනමින් නිමා කරන ලෙසයි.

එහෙත් විගණකාධිපතිවරයා ඇතුළු කාරක සභාව පෙන්වා දුන්නේ තොග යන වචනය පැහැදිළිව පනතේ සදහන් කර ඇති බවයි. නමුත් ලේකම්වරයා පෙන්වා දුන්නේ නීතිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඒ සදහා පනත සංශෝධනය කිරීම සිදුකළ යුතු බවයි. මීට පෙර කෝප් කමිටු රැස්වීමේදී මේ සම්බන්ධ කිසිදු සදහනක් සිදු නොකළේ මන්දැයි මෙහිදී කාරක සභාව අධිකාරියේ නිලධාරීන්ගෙන් විමසන ලදී.

එසේම ජනමාධ්‍ය ඔස්සේ වෙළදපොළ මිල පාලනය පිළිබඳව නිරතුරුව දැනුවත් කිරීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කරන ලදී. ඒ සදහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට සූදානම් බවද මෙම රැස්වීමට සහභාගී වූ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 185 ක් පැවතීම සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය. විමර්ශන නිලධාරීන් 450ක් සිටිය යුතු වුවද දැනට සේවය කරන්නේ 341 ක් බවත් අනාවරණය විය. තවද මෙම 341 ක් දෙනාගෙන් ද දිස්ත්‍රික් මට්ටමේ සේවය කරන්නේ 277ක් බවද නිලධාරීහු පැවසූහ. මේ අනුව අදාළ පුරප්පාඩු පිරවීමට මෙන්ම විමර්ශන නිලධාරීන් වඩාත් කාර්යක්ෂම ලෙස සේවයේ යෙදවිමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද කාරක සභා සභාපතිවරයා දැනුම් දුන්නේය.

එසේම පාරිභෝගික ද්‍රව්‍යන්හි නියැදි පරීක්ෂාව සදහා පරීක්ෂණාගාර පහසුකම් ලබා ගැනීමේදී අදාළ ප්‍රතිපාදන හිගකම ඇතුළු ගැටලු පිළිබඳව ද සාකච්ඡා විය. රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කර සහනදායි මුදලකට මෙම මේ සදහා ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස ද කාරක සභාව විසින් දැනුම් දෙන ලදී.

වැටලීම් සිදුවන ප්‍රමාණයන් ප්‍රමාණවත් නොවීම පිළිබඳව ද අවධානය යොමු විය. 2023 වසරේ කීරී සම්බා සදහා උපරිම සිල්ලර මිලක් නියමකර තිබියදී සිදුකළ වැටලීම් සංඛ්‍යාව 1%ක් පමණක් බව අනාවරණය විය. මෙම වැටලීම්වලින් සිදු කරන්නේ මෙරට ජනතාව ආරක්ෂා කිරීම බැවින් ඒ සදහා විමර්ශන නිලධාරීන් නිසි ලෙස යොදවමින් කාර්යක්ෂම ලෙස සිදුකරන ලෙස දැනුම් දුන්නේය. වැටලීම් සම්බන්ධ ඉලක්කයන් ලබාදී කටයුතු කරන බවද අධිකාරියේ වැඩබලන සභාපතිවරිය පැවසුවාය. ඒ සම්බන්ධ වාර්තාවක් සතියක් ඇතුළත කාරක සභාවට යොමු කර ලෙස ද දැනුම් දෙන ලදී.

අනාරක්ෂිත හා තත්ත්වයෙන් බාල නිෂ්පාදන මගින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සදහා හදුනාගත් නිෂ්පාදන කීපයක් සදහා ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කිරීමට පෞද්ගලික සමාගමක් සමග 2014 වසරේ අධිකාරිය ගිවිසුමකට එලැඹ තිබූ බවත් ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ විධානයක් නිෂ්ප්‍රභා කර ගැනීම සදහා අධිකාරියට විරුද්ධව සමාගම් කිහිපයක් නඩු ගොනු කර තිබූ බවත් මෙහිදී අනාවරණය විය. නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත්කරගැනීමට අධිකාරිය ප්‍රමාද වීම නිසා ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් අදාළ පෞද්ගලික සමාගම ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයේ රු. බිලියන 2.7ක් ගෙවන ලෙස අධිකාරියට එරෙහිව 2018 වසරේ නඩු පවරා ඇති බවත් මෙහිදී හෙළි විය. මේ අනුව මේ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව හදුනා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි සිදුකරන ලෙසත් තවදුරටත් අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදු කරන ලෙසත් ඒ පිළිබඳව මාස දෙකක් තුළ කාරක සභාවට වාර්තා කරන ලෙස ද දැනුම් දෙන ලදී.

මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පවතින පාරිභොගික කටයුතු අධිකාරිය මෙම අඩුලුහුඩුකම් නිවැරදි කරගනිමින් වඩාත් කාර්යක්ෂම මාවතකට අවතීර්ණ විය යුතු බව කාරක සභා සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදී.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ඉන්දික අනුරුද්ධ සහ ගරු ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු ප්‍රේම්නාත් සී දොලවත්ත, ගරු යූ කේ සුමිත් උඩුකුඹුර, ගරු සංජීව එදිරිමාන්න, ගරු එම් රාමේශ්වරන්, ගරු රාජිකා වික්‍රමසිංහ සහ ගරු මධුර විතානගේ යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

පුවත්

අධිවේගයේ යන සැමට ආසන පටි අනිවාර්ය වේ

Published

on

By

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ටආසන බඳපටි පැළඳීම අනිවාර්යය කර තිබේ.

මේ අතර  සැප්තැම්බර් 01 වන දින සිටඅධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ද ආසන බඳපටි පැළඳීම අනිවාර්යය වේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද (01)  සිට බස් හා ලොරි රථ රියදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ, මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

Published

on

By

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර, එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුය.

මේ අතර, ණය යෝජනා ක්‍රමය යටතේ තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියන 1 නොඉක්මවිය යුතුය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබුණි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රජය 2025 අයවැය යටතේ රුපියල් බිලියන 15ක් වෙන් කර ඇත.

මෙම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද සිට ළඟම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ජාතික හැඳුනුම්පත (NIC) සහ IRD විසින් නිකුත් කරන ලද TIN ඇතුළු අනෙකුත් අවශ්‍ය ලියකියවිලි සමඟ මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතුවක් විවෘත කරන ලෙසට රජය ආරාධනා කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved