Connect with us

පුවත්

ලලිත් – කුගන් නඩුවට ගෝඨාභයට යළි නොතීසි

Published

on

වසර 2011 දී මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් පැහැර ගෙනයාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යළි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේදී සාක්ෂි සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවිය නොහැකි බවට දී ඇති අභියාචනාධිකරණ තීන්දුවට බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම අද (19) ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි යවා තිබෙන බව දන්වා සිටියේය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටීමක් සිදුවුයේ නැත.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යළි නොතිසි නිකුත් කරන මෙන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම යළි දෙසැම්බර් මස 15 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

2011 වසරේ දෙසැම්බර් මස 10 වනදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් කළ හබයාස් කොපුස් පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා එවක ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වනදා පෙනී සිටින ලෙස දන්වා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබුණි.

තමන්ට පවතින ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බවත් එබැවින් යාපනය මහෙස්ත්‍රාත්වරයාගේ තීරණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කළේය.

එය විභාග කළ අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ හෙයින් ඔහුව සාක්ෂියට කැඳවිය නොහැකි බව තීන්දු කර තිබුණි.

අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා වර්තමානයේ ජනාධිපති ධුරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පුවත්

මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ

Published

on

By

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි.

කොරල්පර පරිසර පද්ධති වලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. 

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කළේය. 

පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී  ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටා ඇති “විශාල” සහ “කුඩා” පරෙවි දූපත” යන දූපත් දෙකකින් සමන්විත වේ.

සමුද්‍ර උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටෙයාර 471ක් පුරා පැතිරී ඇති නමුත් ගොඩබිම හෙක්ටෙයාර 9ක් පමණ වේ. විශාල දූපතේ කොරල්පරයක් දළ වශයෙන් මීටර් 200ත් 100ත් අතර උසකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8ක් දක්වා උසකින් යුක්ත වේ. මෙම දූපත ශ්‍රී  ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් සහ පාරිසරික වශයෙන් සංවේදී සමුද්‍ර  උද්‍යානවලින් එකක් වන බැවින්, එය පිරිසිදු කිරීම කාලෝචිත මෙන්ම සුවිශේෂී වැදගත්කමක් සහිත කාර්යයක්  වේ.

මෙම පරිසර පද්ධතියට ඇති ප්‍රධාන අභියෝග ලෙස නීතිවිරෝධී පිළිවෙත් මඟින් මසුන් ඇල්ලීම, හානිදායක ලෙස කොරල් අස්වැන්න නෙළීමේ ශිල්පීය ක්‍රම, සංචාරක ව්‍යාපාරය නිසා ඇති වන කොරල් පරිහානිය ආදිය හදුනා ගත හැකිය. එසේම, දේශගුණික විපර්යාස හා  මුහුදු උෂ්ණත්වය ඉහළ යාම මතද පරෙවි දූපත අවට කොරල්පරවලට හානි සිදු වේ.

ඒ අනුව, පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මුලපිරීමක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිකුණාමලයේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිලාවේලි බෝට්ටු සංගමය සහ සර්වෝදය යන ආයතනවලද  ක්‍රියාකාරී සහයෝගය මේ සඳහා ලැබිණි.

මෙම පිරිසිදු කිරීමේ කාර්යය, පාරිසරික සහ ආරක්ෂක ප්‍රමිති අනුගමනය කරමින්, පුහුණුව ලත් කිමිදුම්කරුවන්, සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ අනෙකුත් සංවිධානවල ස්වේච්ඡා සේවකයින්ගේ එකමුතුවෙන් සිදු කෙරිණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්. ජී. එම්. හේමන්ත කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, ප්‍රදේශවාසීහු සහ විදේශ සංචාරකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

Starlink සේවා මෙරට ඇරඹීමට සියලු වැඩ සම්පූර්ණයි – එරංග

Published

on

By

ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වෙතින් ලබා දීමට නියමිත තොරතුරු පුවරුව (Dashboard)ලැබුණු පසු මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවැති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ද්විපාර්ශ්වික හමුවකට එක් වෙමිනි.

මෙම හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමග ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්ථනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම, පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධවද අවධානය යොමුව ඇත.

එහිදී මෙම අවස්ථාවට එක් වෙමින් ස්ටෙෆාන් ලැන්ග් මහතා පවසා ඇත්තේ මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදි ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවය.

(අරුණ)

Continue Reading

පුවත්

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට තවත් 2ක් අත්ඩංගුවට

Published

on

By

තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය පවසයි.

ඔවුන් කඩවත සහ ගණේමුල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී T-56 වර්ගයේ ජීව පතොරොම් 13ක් පුරවන ලද පතොරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් හෙට (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved