සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සියලුම ඇමැතිවරු මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන්ට ඊයේ (04) සිය දැඩි විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
මෙලෙස විරෝධය පළ කර ඇත්තේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවමිනි.
කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මෙම නිලධාරීන් කැඳවා කරුණු විමසා ඇති අතර එහිදී වැටුප් වැඩිකර ගැනීම සාධාරණීකරණය කරමින් මහ බැංකු අධිපතිවරයා අදහස් දක්වා ඇති බවද පැවසේ.
එහෙත් එම අදහස් දැක්වීම අනුමත නොකරමින් සියලුම ඇමැතිවරු එක හඬින් ප්‍රකාශ කර ඇත්තේ මෙම අවස්ථාවේ එලෙස වැටුප් වැඩි කර ගැනීම වැරදි හා සදාචාරාත්මක නොවන බව ය.
ඇමැතිවරුන්ගේ විරෝධතාවෙන් පසුව අදහස් දක්වා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මුදල් කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.
මහ බැංකු අධිපතිවරයාට අමතරව නීති නිලධාරී සහ මානව සම්පත් කළමනාකරු ද කැබිනට් මණ්ඩලයට කැඳවා තිබූ බව වාර්තා වේ.
මේ අතර මෙම වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම නිලධාරීන් අද පාර්ලිමේන්තුවට ද කැඳවා තිබේ.
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට හා මුදල් කාරක සභාවට එම නිලධාරීන් කැඳවා ඇති අතර මුලින්ම ඔවුන් මුදල් කාරක සභාවට කැඳවා කරුණු විමසීමට නියමිතව තිබූ නමුත් පසුගිය සතියේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර ඇත්තේ මුලින්ම පක්ෂ නායක රැස්වීමට කැඳවිය යුතු බවය.
සබැඳි පුවත්:
පඩි වැඩි කර ගැනීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්!
පඩි වැඩිකරගත් මහ බැංකු ලොක්කෝ පාර්ලිමේන්තුවට