Connect with us

පුවත්

3000%කට වැඩි මිලකට විදෙස් පක්ෂීන් ගෙනල්ලා! 

Published

on

2018 සිට 2020 දක්වා කාලය තුළ විදේශීය පක්ෂීන් මිලදී ගැනීමේදී ඇතැම් පක්ෂීන් සදහා ඇස්තමේන්තුගත මුදල රු. 50000 ක් පමණ වුවද මිලදී ගෙන ඇත්තේ රු. මිලියන 1.5 කට පමණ බව පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. 

මේ අනුව ඇස්තමේන්තු ගත  මුදලට වඩා මිලදී ගෙන ඇති මුදල 3000%ක පමණ වැඩිවීමක් බවද මෙහිදී හෙළි විය.

මෙම ප්‍රසම්පාදනයේදී ‍සැපයුම්කරු විසින් පක්ෂීන් වර්ග 32 ක්ම සැපයිය යුතුය යන කොන්දේසිය හේතුවෙන් වැඩි මිල ගණන් යටතේ පක්ෂීන් මිලදී ගැනීමට සිදුවීම නිසා රු. මිලියන 17කට ආසන්න අලාභයක් සිදුවීම පිළිබදව කමිටුවේ අවධානය යොමු විය.  

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පිළිබද විමර්ශනය සදහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව  (කෝපා කමිටුව) 2023.07.05 දින රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙම මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත වියදම සහ සැබෑ වියදම අතර මෙතරම් විශාල ප්‍රමාණයක වෙනසක් තිබීම ගැටලු සහගත බව කමිටුව අවධාරණය කරන ලදී. අදාළ විෂය සහ වෙළදපොළ සම්බන්ධ අවබෝධය මෙම ‍දෙපාර්තමේන්තුව සතු බැවින් ‍තක්සේරු මුදල සහ සැබෑ වියදම අතර මෙතරම් ඉහළ අගයක් පැවතීම පිළිබදව කමිටුව දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලදී. එබැවින්  මේ පිළිබදව වාර්තාවක් ලබා දෙන ලෙසත් නිවැරදි තක්සේරුකරණයේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඉදිරියේදී අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසත් කෝපා සභාපතිවරයා අවධාරණය කළේය. 

අලුතින් එක්වූ සත්වෝද්‍යාන ඇතුළු කරුණු පනතට කඩිනමින් ඇතුළත් විය යුතු බැවින් පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය කිරීමෙන්  ඉදිරි මාසයක් ඇතුළත එම කටයුතු අවසන් කරන ලෙසත් මේ පිළිබඳ වාර්තාවක් 2023 අගෝස්තු 5ට පෙර ලබා දෙන ලෙසත් කෝපා සභාපතිවරයා උපදෙස් දුන්නේය.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අදායම නිසි පරිදි වර්ගීකරණය කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දෙන ලදී. මේ අනුව ටිකට්පත්වලින් හා අනෙකුත් ක්‍රියාකාරකම්වලින් ලැබෙන ආදායම් වෙන් වෙන්ව ඉදිරිපත්කරන ලෙස විගණකාධිපතිවරයා උපදෙස් දුන්නේය.

දැනට වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් නොමැති බව නිරීක්ෂණය වන ‍බැවින් වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ  අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කමිටුවක් පත්කර වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේය. IUCN රතු දත්ත පොතට අනුව දක්වා ඇති මෙරට දැනට වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී. ඒ අනුව මේ සම්බන්ධව  පුළුල් ජාතික සමීක්ෂණයක් සිදු කළ යුතු බව අවධාරණය කෙරිණි.

මෙහිදී පින්නවල අලි අනාථාගාරය, පින්නවල වාගොල්ල සත්වෝද්‍යනය සහ රිදියගම සෆාරි උද්‍යානය යන ආයතනවල ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුවිය.  රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් 900ක් අතුරින් සතුන් 485 දෙනෙකුගේ ස්ත්‍රීපුරුෂ බව හෝ හඳුනාගෙන නොතිබීම පිළිබදව මෙහිදී විමසන ලදී. මෙම සතුන් අතුරින් 300 කට අධික පිරිසක් ඉන්දියාවෙන් ගෙනා තාරකා ඉබ්බන් බවත් නඩු කටයුත්තක් අවසන් වන තුරු සත්වෝද්‍යානය භාරයේ සිටින බවත් මෙහිදී අනාවරණය විය. එසේම මෙම සෆාරි උද්‍යානයේ එක් පශු වෛද්‍යවරයෙක් පමණක් සිටින බැවින් කඩිනමින් පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස   කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.

එසේම ආයතනය සතුව නිසි උපායමාර්ගික සැලැස්මක් නොමැති බැවින් 2024 – 2030 වර්ෂ සදහා නව සැලැස්මක් පිළියෙල කර ‍මෙම වසරේ දෙසැම්බර් 31 වන විට එහි කටයුතු අවසන් කරන ලෙස ද උපදෙස් දුන්නේය. 

කමිටුවේ අවසරය මත විපක්ෂ නායක – සජිත් ප්‍රේමදාස මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, කාදර් මස්තාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ,  විමලවීර දිසානායක, නිරෝෂන් පෙරේරා, ජේ.සී අලවතුවල, හෙක්ටර් අප්පුහාමි, ජයන්ත කැටගොඩ, ඉසුරු දොඩන්ගොඩ, මේජර් ප්‍රදීප් උදුගොඩ, වීරසුමන වීරසිංහ සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහරන ලෙසද අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

Continue Reading

පුවත්

බදු නිසා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ආදායම 25%කින් පල්ලම් බැහැලා

Published

on

By

2023 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 477 ක මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කෙරුණද, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීමෙන් පසුව ඉකුත් වසරේදී (2024) එක්සත් ජනපද ඩොලර් මිලියන 360 දක්වා අපනයන සියයට 25 ක විශාල පහත වැටීමක් සිදුවූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කටුනායක බණ්ඩා රනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති VAT Refund Counter (වැට් බදු ආපසු ගෙවීමේ කවුළුව) පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලින් පසුව ඉකුත් වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදායින් පසුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීම සිදු කෙරුණු බවත්, ඒ අනුව, සංචාරකයන්ට මැණික් හා ස්වර්ණාභරණ විකිණීමේදී, රළු මැණික් ආනයනය කිරීමේදී සියයට 18 ක වැට් බද්දක්ද, රත්තරන් ආනයනය කිරීමේදී සියයට 45.14 ක බදු පනවා ඇති බවත් ඔහු කීවේය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පතල් කැණීමේ බලපත්‍ර 8,000 ක පමණ ප්‍රමාණයක් නිකුත් කර තිබෙන බවත්, මෙම පතල්වලින් සියයට 50 ක් පමණ ලාභ ලබන බව උපකල්පනය කළහොත් ඔවුන් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කට වඩා වටිනා මැණික් නිෂ්පාදනය කළයුතු බවත් ඔහු පැවැසීය.

මැණික් නිෂ්පාදනය මෙරට නිල අපනයනය බවට පත් කිරීමට හැකි වුවහොත් මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රටේ දෙවැනි විශාලතම අපනයනය වනු ඇතැයි ද ඔහු පැවැසුවේය.

මැණික් හා ස්වර්ණාභරණ සඳහා සියයට 18 ක වැට් බදු පැමිණවීමෙන් පසුව මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සැලකියයුතු ලෙස පහත වැටී ඇති බවත්, ඇතැම් රටවල මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමෙන් පසු වැට් බදු නැවත ඔවුන්ට ගෙවීම ආදී තරගකාරී කටයුතු මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය පහත වැටීමට හේතුවී ඇති බවත් ඔහු පැවැසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved