Connect with us

පුවත්

IMF සතුටින් තියන්න ආණ්ඩුවට හැකි වෙලා

Published

on

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු දැකීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා කියයි.

මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (07) දහවල් පැවැති සාකච්ඡාවේදී මේ බව හෙළිකර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ශ්‍රී ලංකාවේ වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වන අයුරු පෙනෙන්නට ඇති බවත් එහි යහපත් ප්‍රතිඵල දක්නට ඇති බවත් හෙතෙම එහිදී පවසා ඇත.

ජනාධිපති මාධ්‍ය අංශ්‍ය එම එම සාකච්ඡාවේදී සිදුවූ කතාබහ මෙසේ දක්වා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා රජය දක්වන දැඩි කැපවීම අගය කරන බවත් එවැනි කැපකිරීම් ධනාත්මක වෙනසක් ඇති කිරීමට උපකාරි වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු දැකීම සතුටට කරුණක් බව සඳහන් කළ ඒ මහතා ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන කැපවීමද ප්‍රශංසාවට ලක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට බිඳ වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීම වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යෑමට කැපවී සිටින බවයි.

ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙලෙස පිළි ගැනීමට ලක්වීම මඟින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින ආර්ථික වර්ධනය උදා කර ගැනීමේ හවුල් දැක්ම අවධාරණය කෙරෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන් මෙහිදී ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ අනාගත දැක්ම කෙරෙහි ද සාකච්ඡාවට ලක් වූ අතර මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වයේ විවිධ අංශ පිළිබඳව ද විමසා බැලිනි.

ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමේදී සහ තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමේදී දෙපාර්ශ්වය අතර අඛණ්ඩ සහයෝගිතාවයේ වැදගත්කම ද අවධාරණය කෙරණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ශිරන්ත හේරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කත්‍යා ස්විරිඩ්සෙන්කා (Katya Svirydzenka), නේවාසික නියෝජිත ආචාර්ය සරවත් ජහාන් ( Dr. Sarwat Jahan), සොෆියා සැංග් (Sophia Zhang), සන්දේශ් ධුන්ගනා (Sandesh Dhungana), හොදා සෙලිම් (Hoda Selim), දිමිත්‍රි රොස්කොව් (Dmitriy Rozhkov), මාර්ක් ඇඩම්ස් (Mark Adams), හුයි මියෝ (Hui Miao), සැම්සන් ක්වාලිංගන (Samson Kwalingana) සහ මානවී අබේවික්‍රම යන මහත්ම මහත්මීන්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සමන්විත විය.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved