ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යළි බිහිවෙමින් තිබෙන බවත්, එය ඉදිරියට ගෙන යාමට මුළු රටේම සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
පසුගිය වසරේ ජූලි මාසය වන විට රටේ තිබූ කෝලාහල, ගිනි තැබීම් මෙන්ම රාජ්‍ය බංකොලොත්භාවය සමඟ බිඳවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය මාස 8 ක් යන විට ආපසු හැරවූ සාර්ථක කතාවක් බවට පත්කිරීමට හැකි වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා අද එය හඳුන්වන්නේ ‘Sri Lanka comeback story’ යනුවෙන් බවද සඳහන් කළේය.
16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්වලට එළැඹියද එම එකඟතා නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඒවා අසාර්ථක වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීම හැර වෙනත් ක්‍රියාකාරී විකල්පයක් අද රට හමුවේ නොමැති බැවින් 17 වන මෙම අවස්ථාවේ දී පැවති දුර්වලතා මගහරවා ගනිමින් නව වැඩසටහනකට එක්විය යුතු බව පැවසීය.දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට කිසිදු හානියක් සිදු නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමේ මෙන්ම අඩු ආදායම්ලාභි ජනතාව ආරක්ෂා කිරීමේ සමාජ සුරක්ෂිතතා ජාලය මේවන විට ක්‍රියාවට නංවා තිබෙන බව ද කියා සිටියේය.