පුවත්

“McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ටින් මාළු සැකසූ තැනක් වටලයි (ඡායා)

Published

on

“McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා පාරිභෝගිකයන් නොමඟ යවමින් ටින්මාළු නිෂ්පාදනය කළ ස්ථානයක් වටලයි.

පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව ඊයේ (03)  මීගමුව, තලාහේන, දූන්ගල්පිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලෙස “McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ටින්මාළු නිශ්පාදනය කරමින් තිබු ස්ථානයක් වටලා තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනු ලැබූ ප්‍රමිති සහතිකය (SLS 591) හා නිෂ්පාදන ආයතන නාමය වන “McOcean” යන නම ව්‍යාජ ලෙස යොදා ගනිමින් අපිරිසිදු හා අවිධිමත් ලෙස මෙම ටින්මාළු නිශ්පාදනය හා ඇසුරුම් කිරීම සිදුකොට ඇති බව අදාළ වැටලීමේදී අනාවරණය කරගෙන ඇත.

වැටලීමේදී ව්‍යාජ ලෙස නිශ්පාදනය කර වෙලදපලට නිකුත්කිරිමට සුදානම්කර තිබු ප්‍රමිතියෙන් තොර ටින්මාළු (එකක ශුද්ධ බර ග්‍රෑම් 425සහිත) ඇසුරුම් 700 කට ආසන්න ප්‍රමාණයක් හා එම තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථයක් ද නිලධාරින් භාරයට ගෙන තිබේ.

එසේම, පසුගිය මාස දෙකක පමණ කාලය තුළ ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවලට මෙම ස්ථානයෙන් නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන බෙදාහැර ඇති බවට ද වැටලීමට අදාල මුලික විමර්ෂනවලදි අනාවරණය වී ඇත.

මේ සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර ඉදිරියේදි එම විමර්ශනවලින් පසුව අදාල පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටී.

Trending

Exit mobile version