ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හිටපු ශූරයින් වන සුභාෂ්කරන් අලි රාජාට අයත් ජැෆ්නා කිංග්ස් පිල කැනඩාවේ මූලස්ථානය පිහිටා ඇති එම්.ටී.එෆ්.ඊ.එස්.එල්. ගෲප් (MTFE SL Group) නමැති ආයතනයෙන් අනුගහය ලබාගෙන ඇත්තේ ඔවුන්ට කරන ලද ඉල්ලීමකින් බව මේවන විට හෙළිව තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලි රාජාට අයත් අයතන හා එම්.ටී.එෆ්.ඊ.එස්.එල්. ගෲප් (MTFE SL Group) අතර සම්බන්ධයක් ඇත්දැයි සොයමින් සිටින බව පැවසේ.
කෙසේවුවද, අලි රාජා මහතා මේනව විට ලංකාවට පැමිණ ටාජ් හෝටලයේ නවාතැන්ගෙන සිටින බැවින් ඒ සම්බන්ධ පරීක්ෂණ පහසු වී ඇති බවද පැවසේ.
මේ අතර, එම්.ටී.එෆ්.ඊ.එස්.එල්. ගෲප් (MTFE SL Group) නමැති ආයතනය රුපියල් කෝටි 100 කට අධික මුදලක් නීති විරෝධී අයුරින් මහජන තැන්පතු ලෙස එක්රැස් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (21) දැනුම් දුන්නේය.
මෙම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී නොමැති ආයතනයක් බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අදාළ ආයතනය මෙරට විශාල පිරිසකගේ රුපියල් කෝටි ගණනින් මුදල් එක්රැස්කර තිබෙන බව මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණ වූයේ යැයි ද දන්වා සිටියේය.
මෙම ආයතනය 2022 වසරේදී සමාගම් මැදුරේ ලියාපදිංචි කර තිබුණ නමුත් එහිදී ද සිය සමාගම කරන කටයුතු නිවැරදි ආකාරයෙන් දක්වා නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් (23072) විජිත රාජපක්ෂ මහතා අධිකරණයට හෙළි කළේය.
පිරමීඩ ආකාරයේ සැකකටයුතු මුදල් ගනුදෙනු කරන ලදැයි චෝදනා එල්ල වී ඇති අදාළ ආයතනය විසින් සමාගම් රෙජිස්ටාර්වරයා වෙත ලබාදී ඇති තොරතුරු අනුව එහි අධ්‍යක්ෂවරුන් ලෙස හඳුනාගෙන ඇති රන්දුනු දේවගේ දුමින්ද තුෂාර ජයවංශ, රන්දුනු දේවගේ ඉන්දික නිරංජන් ජයවංශ, විතානගේ කනක නලින් ගුණසේකර ඇතුළු 05 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉකුත් දා නියෝග කළේ ය.
එලෙස විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන හෝමාගම, පනාගොඩ, හයිලෙවල් පාර, අංක 521/බී ලිපිනයේ පදිංචි රන්දුනු දේවගේ දුමින්ද තුෂාර ජයවංශ විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුම්පතක්ද ඉදිරිපත් කර තිබිණි.
නීති විරෝධී මුදල් ගනුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන හෙයින් අදාළ ඉල්ලුම්කරුට අපේක්ෂිත ඇප දුනහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතුවලට බාධා ඇති විය හැකි බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කළේ ය.
කෙසේවුවද, අදාළ ඇප අයැදුම්පත ඉදිරිපත් කළ දුමින්ද තුෂාර යන අයගේ සොයුරකු බව කියන රන්දුනු දේවගේ ඉන්දික නිරංජන් ජයවංශ නැමැත්තා මේවන විට ද ඩුබායි වෙත පලාගොස් ඇති බව වාර්තා වේ.
සබැඳි පුවත්
ජැෆ්නා පිලට අනුග්‍රහය දැක්වූ MTFE ගැන මහ බැංකුවෙන් විමර්ශනයක්
MTFE ලොක්කන්ට රටයාම තහනම් – එක ලොක්කෙකෙක් අද උදේ ඩුබායි පැනලා
ටෙලිකොම් ගන්න ඉන්න අලි රාජා ජනපතිව ලන්ඩනයේදී මුණගැහෙයි!
ටීවී, රේඩියෝ අල්ලාගත් අලිරාජා ටෙලිකොම් හා ලංකා රෝහලත් ගිලියි!
ටෙලිකොම් ඉන්දියාවට: අදානි,සුභාෂ්කරන් කාගේ හවුලක්ද?