Connect with us

පුවත්

එළවළු බීජ මිල පාලනයට නියාමන ක්‍රමවේදයක් නෑ – කෝපා

Published

on

මෙරට එළවළු බීජ මිල පාලනය කිරීම සඳහා නිසි නියාමන ක්‍රමවේදයක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ අතර ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සහභාගී විය.

1997 වසරේ “බීජ හා රෝපණ ද්‍රව්‍ය කර්මාන්තය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය”සකස්කර තිබුණද එය 2021 ජනවාරි 01 දින වන විටත් ගැසට් මගින් ප්‍රකාශ නොකිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එසේම 2003 අංක 22 දරන බීජ පනත සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර එහි අවශ්‍ය සංශෝධනයන් සිදු නොකිරීම පිළිබඳවද අවධානය යොමු විය. මේ අනුව බීජ ආනයනය කිරීමට පෞද්ගලික අංශයේ අවසර දී ඇති ආයතන කිහිපයක් පවතින බවත් එම ආයතනයන් විසින් ආනයනය කරන බීජ මිල පාලනය කිරීමට ක්‍රමවේදයක් මෙම පනත තුළ අන්තර් ගත නොවන බවත් මෙහිදී අනාවරණය විය.

මේ අනුව පැමිණ සිටි කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ මෙය ඉතා බරපතල තත්ත්වයක් බවයි. ඒ හේතුවෙන් දේශීය එළවළු ගොවියා දැඩි අපහසුතාවට පත්වන බවත් මෙය මාෆියාවක් බවත් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. එබැවින් මෙම තත්ත්වය පාලනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ඒ මගින් දේශීය එළවළු ගොවියාට පහසු මිලට එළවළු බීජ මිලදී ගැනීමට හැකි ක්‍රමවේදයක් ඇති කළ යුතු බවත් ඔවුහු පෙන්වා දුන්හ.  

එසේම දේශීය එළවළු ගොවියාට දේශීය වශයෙන් නිෂ්පාදනය කරන එළවළු බීජ ලබාදීමේ ප්‍රතිශත පිළිබඳව ද සෑහීමකට පත් විය නොහැකි බව ද මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේය. ඊට පිළිතුරු දෙමින් පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ දේශීය එළවළු බීජ අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමටත් සහන මිලට ලබාදීමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය අංශ කටයුතු කරන බවත් එසේ වුවද ඇතැම් බීජ නිෂ්පාදනය කිරීමට යම් යම් දේශගුණික තත්ත්වයන් යටතේ නොහැකි බවත් එබැවින් එවැනි බීජ ආනයනය කිරීම සිදු කරන බවත්ය. එබැවින් එවැනි බීජ ආනයනය කිරීමට පෞද්ගලික ආයතන කිහිපයකට අවසර දී ඇති බවත්ය.

තවද නිෂ්පාදනය කිරීමට අපහසු දෙමුහුන් බීජ වර්ග පවා තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බවද නිලධාරීහු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම ඇතැම් බීජ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පර්යේෂණ සිදු කිරීමට වසර 10 පමණ ගතවන බවත් එම නිලධාරීහු පෙන්වා දුන්හ.

මේ අනුව අවසාන වශයෙන් බීජ නිෂ්පාදනයට පවතින බාධා පිළිබඳව වාර්තාවක්, බඳවා ගැනීම් සඳහා පවතින බාධා පිළිබඳව වාර්තාවක්, බීජ ඉල්ලුම අනුව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන බීජ ප්‍රතිශතය සහ ආනයනය කරන බීජ ප්‍රතිශතය පිළිබඳව වසර 3ක තොරතුරු ඇතුළත් වාර්තාවක් එසේම බීජ මිල පාලනය කිරීම සඳහා අදාළ පනත සහ ප්‍රතිපත්තිය නියාමනය කිරීම හරහා කටයුතු කළ හැකි ආකාරය  පිළබඳව  වාර්තාවක් සති දෙකක් ඇතුළත කෝපා කමිටුවට ලබාදෙන ලෙස කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නිර්දේශ කළේ ය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය ආමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ඩයනා ගමගේ එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, නිරෝශන් පෙරේරා, අශෝක් අබේසිංහ, බුද්ධික පතිරණ, (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජේ.සී. අලවතුවල, හෙක්ටර් අප්පුහාමි, (මේජර්, ආචාර්ය) ප්‍රදීප් උදුගොඩ සහ වසන්ත යාපා බණ්ඩාර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

පුවත්

නලීම් ගේ මන්ත්‍රී පුටුවට වසීත් නම් කරයි

Published

on

By

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන්, පුරප්පාඩුව පවතින මන්ත්‍රී ධුරය සඳහා අබ්දුල් වසීත් මහතා පත් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිසම පවසයි.

ඉකුත් පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා එස්.එම්. නලීම් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, වසීත් මහතා පත් කර ඇත්තේ එලෙස පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයටයි.

Continue Reading

පුවත්

කහවත්ත උණුසුම් : පොලිසිය හා ගම්වාසීන් ගැටෙයි

Published

on

By

කහවත්ත පලන්සූරියගම දී ඝාතනය ලක් වූ පහළගම විතානලාගෙ ඉමන්ත  සුරන්ජන  තරුණයාගේ අවසන් කටයුත අද සවස අවසන් වී සුළු වේලාවකින් පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ ගැටුමකදී පොලිසියේ සහ ගම්වාසීන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. පිරිස විසුරුවීමට පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ද සිදුවිය.

තුවාල ලැබූවන් අතර පොලිස් කාන්තාවක ඇතුළු තිදෙනකු ද එම ගම්මානයේ කාන්තාවක ඇතුළු තවත් දෙදෙනකු ද වන බව පොලිසිය කියයි. ඔවුන් ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහල්ට ඇතුළත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැමින් තිදෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඝාතනයට ලක් වූ තරුණයාගේ අවසන් කටයුතු කහවත්ත පලන්සූරයගම පවුලේ සුසාන භූමියේදී අද සවස සිදු කිරීමෙන් පසු එම කටයුතු අවසන් කර ආපසු නිවෙස් බලා යමින් සිටි ගැමියන් හා ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා තිබූ පොලිස් කණ්ඩායමක් අතර ගැටුමක් නිර්මාන්‍ය වී ඇත. ගැමියන් චෝදනා කර ඇත්තේ ඝාතනයට පෙර මෙම සිද්ධියට මැදියත්වන ලෙස ඉල්ලීම් කළත් ඊට ප්‍රතිචාරයක් නොදැක් වූ පොලිසිය ඝාතයෙන් පසු පොලිස් ආරක්ෂාව අවශ්‍ය නැති බව චෝදනා කර ඇත.

ඒ අවස්ථාවේ පොලිසිය හා ගැමියන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර  ගැමියන් පිරිසක් පොලිසියට ගල්මුල්වලින් පහරදී ඇත.

ඒ අවස්ථාවේ එම පොලිස් කණ්ඩායම එම ප්‍රදේශයෙන් ඉවත්වීමත් සමග කලහකාරීව හැසිරුණු පිරිස මෙම ඝාතනය සම්බන්ධයෙන් ගැමියන් විසින් චෝදනා කරන පුද්ගලයාගේ නිවෙසට දෙසට පා ගමින්  ගමන් කර ඇත.

එම පිරිසගේ ගමන නැවැත්වීමට ඒ අවස්ථවේ එම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි කැරළිමර්ධන පොලිස් කණ්ඩායම් උත්සහා කර ඇති අතර ඒ අවස්ථාවේදී ද ගැමියන් හා පොලිසිය අතර යළි ගැටුමක් නිර්මාණය වී ඇත.

එම පිරිස ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන පුද්ගලයාගේ නිවෙස ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රියකට ද ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

එම සිද්ධියත් සමග කලබල ලෙස හැසිරිරුණු පිරිස විසුරුවා හැරිම සඳහා පොලිසිය කඳුළුගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය. ඒ අවස්ථාවේ ගැමියන් පොලිසියට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇත.

(ලංකාදීප)

Continue Reading

පුවත්

අපේක්ෂා රෝහලට නව පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්

Published

on

By

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වා මහතාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට යෝජිත පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (03) පෙරවරුවේ එම රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.

එහි දී සෞඛ්‍ය‍ හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  අදහස් දක්වමින්  රෝහල්වල ඉදිකිරීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය බරපතල ගැටළු ගණනාවකට මුහුණ දී ඇති බවත් සමහර ඉදිකිරීම් මීට වසර 08 කට පමණ පෙර ආරම්භ කර ඇතත්, එම වැඩකටයුතු යම් යම් හේතු නිසා අතරමඟ ඇණහිටීම හේතුවෙන් පළමු ඇස්තමේන්තුවට වඩා සියයට 50 ක 60  ක වැඩිවීමක් දිගින් දිගටම සිදු වී ඇති බවත් එය විශාල ගැටළුවක් බවත් සඳහන් කළේ ය. එමෙන් ම මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේ දී අතිශය ප්‍රමාදයන් සිදුවන බවත් එය ද ඉතා කණගාටුදායක තත්වයක් ලෙස ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

මෙරට උපදේශන සේවා සහ ඉංජිනේරුමය සේවා සැපයීමේ දී මෙන් ම කොන්ත්‍රාත් වැඩපිළිවෙළේ දී තිබෙන ගැටළු සම්බන්ධව ජනාධිපතිතුමාගේ පවා අවධානය යොමු වී ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා භාණ්ඩාගාරය මුදල් ලබාදුන් පසු නියමිත කාලයේ දී ඉදිකිරිම් සිදු කළහොත් පමණක් ඇස්තමේන්තුවට අනුව එම කටයුතු අවසන් කළ හැකි බවත්, මුදල් වැඩි කර ඉල්ලා යොමු කරනු ලබන කැබිනට් පත්‍රිකා කිහිපයක් නිතර කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වන බව ද මෙහි දී පැවැසීය. මින් ඉදිරියට රජය අ‍ලුතින් ඉදිකිරීම් ආරම්භ කිරීමේ දී එම ව්‍යාපෘති අවසන් කරන කාලය ජනතාවට ප්‍රදර්ශනය කිරීමට  ද  කටයුතු කරන බව සඳහන් කළ ඇමතිවරයා  ඒ අනුව ජනතාවට ද ප්‍රමාදයන් පිළිබඳ යම් බලපෑමක් කළ හැකි බව ද පැවසී  ය.

මෙරටින් වසරකට අලුතින් පිළිකා රෝගීන් 33,000 ක් පමණ වාර්තා වන අතර එම පිළිකා රෝගීන් අතුරින් අපේක්ෂා රෝහලෙන් වසරකට පිළිකා රෝගීන් 11,000 ක් එනම්  35 % ක පමණ ප්‍රමාණයකට ප්‍රතිකාර සපයන බවත්, ළමා පිළිකා රෝගීන් ද 800 ක් පමණ හඳුනාගෙන ඇති බවත්, මෙම පිළිකා රෝගීන්ට ද ප්‍රතිකාර කිරිම සදහා තිබෙන විශේෂිත මධ්‍යස්ථානය ලෙස අපේක්ෂා රෝහල හඳුන්වා දිය හැකි බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී සඳහන් කළේ ය.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා සෞඛ්‍ය උපකරණ ලබා දීමේ දී රජය දැඩි උනන්දුවකින් කටයුතු කරගෙන යන බව පැවසූ අමාත්‍යවරයා, අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) කඩිනමින් බලාදීමට කටයුතු කරන බව ද පැවසී ය. නව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) 05 ක් මෙරට රෝහල් පද්ධතියට ලැබෙන බවත්, ආසියානු සංවර්ධන බැංකුව මගින් ද තවත් ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර  (linear accelerator) යන්ත්‍ර දෙකක් මෙම රෝහලට ලබාදීමට කටයුතු කරන බවත් එයින්  පිළිකා රෝගීන්ගේ   ප්‍රතිකාර සේවාවන්ට විශාල සහනයක් ලැබෙන බව ද පැවසී ය.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනවා සේම පිළිකා රෝගයට ජනතාව ගොදුරුවිම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියා කරන බවත්, මේ සදහා නියමු ව්‍යාපෘතියක් ලෙස පිළිකා රෝහලේ මුළුතැන්ගෙය පෞද්ගලික රෝහලක මුළුතැන්ගෙයක මට්ටමට ම සංවර්ධනය කරන බවත්, රෝගීයා ඉලක්ක කරගෙන සකසන ආහාර වට්ටෝරුව රෝගියාට ලබාදෙනවා වෙනුවට රෝගියාගේ අවශ්‍යතාවය පරිදි  යම්  සංශෝධනයන්ට යටත්ව රෝගියාට ගැළපෙන ආහාර වට්ටෝරුවක් ලබාදීමට නියමු ව්‍යාපෘතියක් පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයත් සමග මෙම රෝහලෙන් ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය. 

රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක්  වැයකර ඉදිකිරීමට යෝජිත මෙම පස්මහල්  ළමා වාට්ටු  සංකීර්ණය ඇඳන් 80 ධාරිතාවයකින් යුත් ළමා වාට්ටු දෙකක්, ළමා දැඩිසත්කාර  ඒකකයක්, ළමා බාහිර රසායනික චිකිත්සා ඒකකයකින් ද යුක්ත වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරනු ලබන මෙම ළමා වාට්ටු සංකීර්ණය වර්ෂයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂා කරයි. මෙහි  සැලසුම් නිර්මාණය කිරීම ද පරිත්‍යාගයක් ලෙස නොමිලේ සිදුකර ඇත.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන්, හුණුපිටිය ගංගාරාම විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන්, අපේක්ෂා රෝහල් විහාරයේ විහාරාධිපති  හේනේගම ධම්මාධාර නාහිමි ඇතුළු ව, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ රුෂාන්ත සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය බී.අයි.කුරුකුලසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර, යන මහත්ම මහත්මීන් ඇතුළුව  රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක් සහභාගි වූහ.

(news.lk)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved