සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයට අයත් ව්‍යාපෘති 77කට අදාළව රු 71,645,226.32ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ මහේෂ් පෙරේරා මහතා හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු නියෝග කළේ, එම ප්‍රදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙකු, ලිපිකරුවෙකු, සහ ලේකම්වරයෙකු මේ මස 08 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ, වයි.එම්.පී බණ්ඩාර නැමති හිටපු තාක්ෂණ නිලධාරියෙකු, සිංගප්පුලි ආරච්චිගේ චින්තක කුමාර නැමති හිටපු ලේකම්වරයෙකු මෙන්ම අමල් තුෂාර විතාරණගේ නැමති හිටපු ලිපිකරුවෙකි.
තාක්ෂණ නිලධාරියා සහ හිටපු ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කළ අතර හිටපු විෂය ලිපිකරුවා අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් තිබුණි.
2017 සහ 2016 වර්ෂවල ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘති හැත්ත හතකට අදාළව රු 71,645,226.32 මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී එවකට සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් බමුණු ආරච්චිගේ චාමර ප්‍රේමණාත් යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
මෙම ව්‍යාපෘති 77න් පහළොවක් සිදුකර නොමැති බව අධිකරණය හමුවේ හෙළිව තිබේ.
මාර්ග හා ක්‍රීඩා පිටිය ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙම වංචාවන් සිදුව ඇති අතර අපරාධ සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ පවසා සිටියේය.