මාතර දිස්ත්‍රික්කය තුළ කලක සිට බරපතළ තත්ත්වයේ පවතින පොල් වගාව ආශ්‍රිත ‘වැලිගම කොළ මැලවීමේ රෝගය හා කුණුවීමේ රෝගය’ පාලනය කිරීම සඳහා එම ගස් කපා ඉවත් කරන්නන් සඳහා ගෙවන මුදල වැඩිකර තිබේ.
පොල් වගාකිරීමේ මණ්ඩලය පවසා සිටින්නේ, රෝගී තත්ත්වයට ගොදුරු වූ පොල් ගස් කපා ඉවත්කිරීම වෙනුවෙන් වගාකරුවන්ට මෙතෙක් ලබාදුන් රුපියල් 3,000ක වන්දි මුදල රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි.
දකුණු පළාත තුළ ව්‍යාප්ත වී ඇති මෙම රෝගය එම පළාතේ පොල් වතුවල තවදුරටත් ඇත්නම් එම රෝගී ගස් කපා ඉවත්කරන මෙන් පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් වගා කරුවන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම රෝගය අනෙකුත් පොල් ගස් අතර පැතිරයාම වැළැක්වීමට ඇති එකම විකල්පය එය වන අතර, ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පොල් ගස් 6,200ක ප්‍රමාණයක් මාස 3ක් ඇතුළත කපාදැමීම සඳහා සලකුණු කර ඇත.
මේ වෙනුවෙන් විශාල පිරිස් බල ඇණියක් සහ විවිධ දෙපාර්තමේන්තුවල සහභාගිත්වයෙන් සිදුකිරීමට ඊයේ (4) පැවති මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ජාතික සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද තීරණය වී තිබේ.
ශ්‍රී ලංකාව තුළ මෙම රෝගය ව්‍යාප්ත වී ඇති භූමි ප්‍රමාණය මුළු දිවයිනේම පොල් වගාකරන සමස්ත භුමි ප්‍රමාණයෙන් 5%ක් වේ.
දකුණු පළාතේ 2024 වර්ෂය තුළ වාර්තා වී ඇති පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 854.93ක් වේ.
මේ අතර කපා ඉවත්කරනු ලබන පොල්ගස් වෙනුවෙන් අලුතින් සිටුවීම සඳහා පොල් පැළ ලබාදීමේ විශේෂ වැඩසටහනක්ද පොල් වගා කිරීම මණ්ඩලය මගින් ආරම්භකර ඇත.
කොළ මැලවීම හා කුණුවීමේ රෝගය පිළිබඳව 2008 වසරේදී පමණ පොල් වගාකිරීමේ මණ්ඩලය වෙත වාර්තාවීමෙන් පසුව එම තත්ත්වය හඳුනාගැනීම හා පාලනය කිරීම සඳහා වන ප්‍රතිකර්මයන් පිළිබඳව පොල් පර්යේෂණ ආයතනය සමග එක්ව පර්යේෂණ කටයුතු සිදුකරන ලදී.
එහිදී මෙම රෝගී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කිසිඳු ප්‍රතිකර්මයක්, පලිබෝධ නාශකයක් උපකාරී නොවන බව පරීක්ෂණ මගින් තහවුරු විය.
මෙම රෝගය අනෙකුත් පොල් ගස් වෙතද පැතිරී යන බව නිරීක්ෂණය වූ බැවින් හා එම තත්ත්වය වැළැක්වීම සඳහා වෙනත් කිසිඳු විකල්පයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරු කරගැනීමෙන් පසුව මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා වන එකම විසඳුම ලෙස මෙම රෝගය වැළඳුන පොල් ගස් විනාශ කිරීම 2010 වසරේදී පමණ ආරම්භ කරන ලදී.
මෙම රෝගී තත්ත්වය පිළිබඳව වගාකරුවන් දැනුවත් කලද මුල් අවස්ථාවේදී රෝගය වැළඳුන පොල් ගස්වලින් වසරක් 2 ක් පමණ යන තෙක් කැපී පෙනෙන රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බැවින් හා ඵල දරණ පොල් ගස් කපා ඉවත් කිරීමට පොල් වගාකරුවන් මැලිකමක් හා අකමැත්තක් දැක්වූ බැවින් මෙම රෝගය දකුණු පළාත තුළ ක්‍රමයෙන් ව්‍යාප්ත විය.
එනමුත් මේ වනවිට, පොල් වගාකරුවන්ගේ සහයෝගයෙන් හා පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් රෝගී ගස් හඳුනා ගැනීම, එම ගස් සලකුණු කිරීම, ගස් එන්නත් කිරීම හා විනාශ කිරීම යන ක්‍රියාවලිය නිසි පරිදි සිදු කිරීම මගින් දකුණු පළාත තුළ මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී තිබූ ග්‍රාම නිලධාරී වසම් 692න් ග්‍රාම නිලධාරී වසම් 80ක් මෙම රෝගී තත්ත්වයෙන් මුදවා ගැනීමට හැකිවී තිබේ.
මේ හේතුවෙන් මෙම රෝගයට ගොදුරු වු බවට හඳුනාගනු ලැබූ ග්‍රාම නිලධාරී වසම් 692න් එහාට මෙම රෝගය පැතිරී යාම වළක්වා ගැනීමට මේ වනවිට හැකිව තිබේ.